Monday, October 27, 2014

සොඳුරු හුදෙකලාව...!!



හුදෙකලා වූ මොහොතක

දුටුව සොඳුරු නෙත් සඟලක

පිපිරුණු සිනහ කැන් දැක

අමතක වීය හුදෙකලා සිත

පුබුදුවා සිත් සොඳුරු දැහැනක

කාලය ගතවීය නොදැනිම

කිමැයි වියොවේ අරුමය

පසක් කරමින් රැවිදීය සිත තුල

අනෙකුගේ ඇනුම් බහකට

අඳුරුවිය ඒ නේතු යුග

අහෝ සොඳුරු හුදෙකලා බව

ආයේමත් මා වෙලාගනු මැන


Wednesday, September 24, 2014

ජූඩ් ගේ ලට පට....!!




අපේ මාමගේ හොඳම යාලුව ජූඩ්,  කියලයි පුංචි  නම්  කියන්නේ. ඇත්තටම ජූඩ් හිත හොඳ එකා… “  මාමත් කියනවා මට මතකයි. ඔය කොයිහැටි වෙතත් ජූඩ් කියන්නේ මතකය සුළු මොහොතකින් අමතකවෙලා යන ජාතියේ පුද්ගලයෙක්.

එක දවසක් ජුඩ් මාමලගේ ගෙදර ආපු වෙලාවක, තමන්ගේ ගෙදර යතුරයි අයිඩින්ටි කාඩ් එකකයි ලඟ තිබ්බ මේසයක් උඩින් තියල සතුටු සාමිචියේ යෙදිලා සවස් වරුවේ ආපහු යන්න ගිහින්. මනුස්සයට ගෙදර ගියහම තමයි දෙලෝ රත්වෙලා තියෙන්නේ දොරේ යතුර නෑ කියල. ඉතින් ඒදා රාත්‍රිය ගෙදර ෆොටිකොවේ ජූඩ්ට ගතකරන්න සිද්ද උනත්, පසුදා පහන් උනහම ගෙදර අයිතිකාරයට කියල දොර ඇරවගෙන,  මොකද ජුඩ් උන්නැහේ කුලී ගෙදරක තමයි වාසය කරන්නේ ඇත්තටම සිද්දවෙලා තියෙන්නේ අමතක වෙයි කියන බයට හැඳුනුම් පත උඩින් තියපු යතුර පැත්තකින් තියලා හැඳුනුම් පත විතරක් අරගෙන ගෙදර ගියපු එකයි.

තවත් දිනයක ජූඩ් දුර ගමනක් යන්න බස් එකක නැගුනා හැබැයි කුඩයකුත් අරගෙන. ඔහොම ටික දුරක් ගිය බස් එක මඳ විරාමයකට තේ කඩයක් ලඟ නැවතුනා. එලිපහලියට යන්න කියලා ජූඩ් බස් එකෙන් බැස්සා. ඔන්න මිනිත්තු කිහිපයකින් වහින්න පටන් ගත්තා කලබල උන ජූඩ් බස් කවුළුවකින් තමන් හිටපු සීට් එකගාව මගියෙකුට කතාකරලා තමන්ගේ කුඩේ එතන ඇති බැවින් එක දෙන්න කියල ඉල්ලා සිටියා. ජූඩ් දිහා බලාගෙන හිනාවෙන ගමන් මගියා අහනවා එතකොට මහත්තයා ඔය ඉහලගෙන ඉන්නේ ඒ කුඩේ නෙවෙයිද කියලා  ඔන්න ජූඩ්ගේ මතකේ තරම.

සාමාන්‍යයෙන් ජූඩ් මාමලගේ ගෙදර ආවහම පුරුද්දක් විදිහට තමන් ඇඳගෙන ආව ඇඳුම් ටික සොදලා දානවා, එහේම ආව දවසක මාමලත් එක්ක සල්ලාපයේ යෙදිලා උන්න ජූඩ් කලබලේන් නැගිට්ටේ වැස්සක් අතලඟ බැවින් වේලෙන්න දාපු රෙදිටික ගෙට ගන්න හිතාන.  එලියට දුවපු ජූඩ් කලබලෙන් ආපහු බාත් රූම් එකට දිව්වා හොදලා දාපු රෙදිටික ඒ වෙනකොටත් බාත් රූම් එකේ.

කොහේ හරි ගමනක් යන්න ලැහැස්ති උනොත් ඉස්සෙල්ලාම ලැහැස්ති වෙන්නේ ජූඩ් අංකල්. හැබැයි ඒකටත් ටික වෙලාවක් ගතවෙනවා. මුලින්ම බාත් රූම් එකට ගිහින් ආපහු එනවා, ඒ බුරුසුව අරගෙන යන්න ටිකකින් ආයිත් එනවා රේසර් එක අරගෙන යන්න ඔන්න ඔහොම දෙපාරක් තුම්පාරක් ආවට පස්සේ තමයි එයාගේ ලකලැහැස්තිය ඉවර වෙන්නේ.


තවත් දවසක ජූඩ් නාලා තුවායකින් විලි වහගෙන ගෙදර ෆොටිකොවේන් ඇතුළුවෙන කොට පාරේ කාන්තාවක් දැකලා බාගෙට විලිවහගෙන ඉන්නේ කියලා ගෙයි කාමරෙට දුවලා. ටිකකින් හිනාවෙවි එලියට ඇවිදින් අර කාන්තාව උඩබිම බලනකොට ජුඩ් කලබලබලවෙලා බලන කොට ඇතුලට ගිය ජූඩ් එලියට ඇවිත්තියෙන්නේ නිරුවතින් නෙව.


Tuesday, August 12, 2014

බහුබූත………



අම්මපල්ලා ඇත්තට

එකා හිටියනම් හිතයට

පොරබදා අල්ලාගන

දුක්විද විද ඉන්නට

එතරම් සැපක් කොහිද

හිතකට

ඇසිපිය ගැසෙන ඇසිල්ලෙක

එකා පැනගොස්ය හනිකට

ඉතින් විදවන්නේ කෙලෙසට

සැපය ඉවරයි හෙට අනිද්දට

යලිත් විඳ විඳ ඉන්නට

නොහැකි ලෙස ගැලවුනුකොට

අම්මාපල්ලා ඇත්තට

තියෙන තරහක්

හිතේ ගැට්ටෙක……


Tuesday, July 15, 2014

විහිළු හතරක්...........



ඔලේවල් කරලා ඉවරවෙනකොට මට ඔන උනේ කලා විෂයන්ගෙන් උසස්පෙළ හදාරන්න, කොහේද ඒකට ඉඩක්... " ඔය ආට් කරපු එවුන්ට වැලේ වැල් නෑ.. අඩුගානේ කොමස් වත් කරහන් "  ගෙදර මහතැන් වලින් ලැබුනේ අන්න ඒවගේ නියොගයක්. ඉතින් ඊට පස්සේ  හොල් ක්ලාස් ගෲප් ක්ලාස් ගානේ බඩගාලා " හැබැ එව්වැ ආතල් එකක් තිබ්බේ නෑ කිව්වොත් නම් ඒ සහගහන කෙප්ප" බොහෝම අමාරුවට එලේවල් ගොඩදාගත්තා එත් රජෝ යුනිවර්සිටි යන්න රිසාල්ට් මදි.

" අන්න උබට හරියන කොම්පියුටර් ඩිග්‍රියක් තියෙනවා කරහන්" යකෝ කොමස් කරපු මට කොම්පියුටර් ගනං දිරවයිද ? කොරන්ඩ දෙයක් නෑ  කොරන්ට දෙයක් නෑ නියෝගය ලැබී අවසන් , එහෙමවත් ගොඩයං ඔන්න ඉතින් අවුරුදු තුනක් තිස්සේ ඩිග්‍රියක් පස්සේ දිව්වා " හැබැ  ක්ලාස් එක පුරාම ඉංග්‍රිරිසියෙන් ටොක් කර කර හිටපු කලු සුද්දන්ට සිංහලෙන් කතා කරන හැටි පුරුදු කොරන්ට ලැබුන එක ඩිග්‍රිය නොලැබුනාට වඩා ලොකු දෙයක් "

මහා අධ්‍යාපන රටාවක් ගැනවත්, පිටරටවල අධ්‍යාපන ක්‍රම මරු කියන්ඩවත්, රටකරන ඇත්තන්ගේ චක්‍රලේක පට්ට ගහන්ඩවත්, මට ඔනේ නැති උනාට අපි සහ අපේ වැඩිහිටියන්ගේ ආකල්පවල ඇතිවෙන ගැටුම් කාරි ගතිය නිසා අපිට යන්න උනේ කොයිපාරෙද ? ගියේ මොන පාරේද ? කියන එක ගැන පොඩි අවුලක් හිතට ආපු නිසා ඔන්න ඔහේ කොටලා දාන්ඩ හිතුනා. හැබැයි මතක තියාගන්ඩ ඔනේ 100%කටම මෙහේම වෙලා නැතිවගත් අන්න ඒ ගොඩට අපි හැමොටම වැටෙන්ඩ පුලුවන්නම් පට්ටය කියන නිගමනේ තමයි මම ඉන්නෙත්.

දැන් ඔන්න එලේවල් පාස් උන පලියට හැමොටම ලංකාවේ කැම්පස් වලට සෙට්වෙන්න වෙන්නැහැනේ, නමුත් වර්ථමානය වෙනකොට පනම් හතරක් අතේ තියෙන ඔන එකෙකුට කොහොම හරි ඩිග්‍රියක් ගහ ගැනිමේ හැකියාව තියෙනව. ඒත් ඔය ගත්ත අධ්‍යාපන සුදුසු කමටම හරියන ජොබක් ලංකාව තුල සෙට්වෙන්නේ කීයෙන් කීදෙනාටද කියන එක ගැන ටිකක් හිතන්න වෙනවා..!

කොච්චර ඉගෙනගත්තත් අන්තිමට අපිට ජීවත්වෙන්න ආදායමක් ඉපයිය හැකි  මාර්ගයකට අවතීරනය වෙන්න සිදුවෙනවනේව, එතනදි තමන්ගේම හැකියාවෙන් සහ ධන ශක්තියෙන් තමන්ගේම දේයක් පටන් ගන්න පිරිස හැරුනුකොට බහුතරයට මොනයම් හෝ ආයතනයක සේවයට බැඳෙන්න සිදුවෙනවා, අපට මුලින්ම අවශ්‍යවෙන්නේ යැපීය හැකි වේතනයක් සහිත ජොබ් එකක්නේ, නමුත් ඔය කියන රස්සාව ලැබිලා කාලයක් යනවිට ඕනෑම කෙනෙක් කැමති තමන් ඉන්න තත්වයෙන් ඉහලට යන්න රැකියාව පැත්තේන් ඒදේ විශේෂ වෙන්නේ ඉහලට යනවිට වේතනයත් වැඩිවන නිසා, ආන්න එතකොට තමයි තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් කරලියට එන්න පටන්ගන්නේ.

ඒලෙවල් කරේ කොමස් වලින්.. තියෙන්නේ කම්පියුටර් ඩිග්‍රියක්..! හැබැ වැඩකරන්නේ බැංකුවක, පොස්ට් එක බැංකු සහකාර.. ඉන්නේ අයිටි අංශයේ හැබැ පරිපාටිය (කාඩර් එක) බැංකු නිලධාරි. දැන් කොහොමද ඉහලට යන්නේ ඉන්න කාඩර් එකට අවශ්‍ය අතීරෙක සුදුසුකම් වලට අයිටී ඩිග්‍රීය අදාල නැහැ. හැබැ අයිටි පරිපාටියට ඒ සුදුසුකම ප්‍රමානවත්. පැත්තකට වෙලා කල්පනාකරන කොට මේකත් හරියට අරව මෙව්වා දාල ගහපු කොත්තුවක් වගේ.”
දැන් ඉතින් ආයිමත්,  තියෙන ජොබ් එකට හරියන අතිරේක අධ්‍යාපන සුදුසුකම් එකින් එක  අහුලන්ඩද වෙන්නේ ආපහු ?
එහේනම් ඉතින් ඒලෙවෙල් ඉවර උන ගමන්ම ජොබකට පැනගෙන, ආං ඒ ජොබ් එකට හරියන විදිහේ ඩිග්‍රියක් කොරගෙන, කාල බිලා ඉහලට ගොහින් සැපට ඉන්න තිබ්බනේ..! මොන මගුලකටද බලෙන් ඇඟේ එල්ලපු ඩිග්‍රියකුත් කරපින්නගෙන.. උදේ හවහා පිම්මේ දුවන්නේ. දැන් එතකොට ඒලෙවල් කරපු ගමන් ජොබක් දෙන්න අපේ රටේ හැම ආයතනයක්ම ආසාවෙන් බලං ඉන්නවද ? එහේනම් මරුනේ…!!!

හොඳ නැද්ද අපි කැමති විෂයකින් ඒලේවල් කරල, පුලුවං ට්‍රයි එකක් දිලා අපේම කැම්පස් එකකට රිංගගෙන, අපි කැමති විදිහේ ඩිග්‍රියක් කොරගෙන, ඒ කට හරියන ජොබකට සේට්වෙලා සංතොසෙන් මැරිලා යන්න. ඇත්තට මෙව්වා නිකං විහිළු විතරද මන්දා....!!!

අම්මපා අවුරුදු හතරක් කියන්නේ දැං නම් ඊයේ පෙරෙදා වගේ කියල තමයි මේ දුවන දිවිල්ලට හිතෙන්නේම. හැබැ   අටෝගත්ත බ්ලොග් එක මෙච්චර කාලයක් ඇදගෙන එන්න ලැබුන එක ගැනනම් පොඩි පහේ සංතොෂයක් තියෙනවා. ඒ එක්කම මේතාක් කල් මගේ බ්ලොග් පොස්ට් කියවපු සහ බ්ලොග් සම්බන්දයෙන් සිදුකෙරුන ඇතැම් පොදු කටයුතුවලදි මුනගැසි වචනයක් දෙඩු බ්ලොග් සහෘධයන් හැමොටම ස්තුතීයි.!! 

නමුත් බ්ලොග් රෝලදිගේ පහලට යනකොට මම ආසාවෙන් කියවපු ඇතැම් සිංහල බ්ලොග් අතරමග නැවතී තියෙන බව දැක්කම කනස්සලක් ඇති උනා. ඒ කාලේ හිතට එකඟව කොමෙන්ටුවක් දාන්න පුලුවන් ලිපියක් කියෙව්වම අප අතර ඇතිවෙන සුහද අදහස් ප්‍රකාශකිරීම් සහ දැනුවත් වීම ඇත්තටම හරීම රසවත්. ඔවුන් ආපසු යමක් ලියනවනම් පාථකයෙක් විදිහට මා හරිම සන්තොසවෙනවා !! නිසාම නෑවතිමක කොමාවක් වැටිලා තිබුන බ්ලොග් අතුරින් කිහිපයක් සටහන් කරන්න හිතුනා මෙන්න මේ විදිහට..

Z එක | THE JD ONLINE , මන්තරකාරි, හිතුමතේ බ්ලොග්, මගේ මරණය, මතකයේ රැඳුනුතැන්...., අළු පාටහැන්දෑව., ප්‍රහාරය, ගැහැනු ළමයි, Iceගේ කොලම, පැණි දොඩම්, දුමීගේ කට කහන කතා, නිසූගේ කතා, පලාමල්ල :::: palaamalla, හසිගේ සිතුවිලි, මගේ තනිකම, BLOG ගඩොල්, ඔසිකතා, අසරණයා, ළිහිණි ගේ ජීවිතය, සිහින සිත්තම්, වර්ණාගේ මතක, මගේ ලෝකය, වෙද ගෙදර, බට්ටී, ---- රත්ගමයා -----


ආපහු වෙලාවක කොමෙන්ටුවකින් පොස්ට් එකකින් සෙට්වෙමු ආ ගාළු ආවොත් එහේදිත් සෙට්වෙන්න පුලුවන්නෙව ………!


Tuesday, June 17, 2014

මිනිසෙක්...........




අළුපාට අහස් ගැබ

සුළඟට වැනෙන දුම් රොටු

දා දියෙන් පෙඟුන කය

ගිනි වැකුන දේ ඇස්

කම්මලක් වැනි සිතිවිලි

අතැක බරවු මන්නය

සොයන්නේ

මිනිසෙක්.!

නොව,

ජාතියක්

ජම්මයක්

නැති

රුහිරු

බිඳක්.!



Wednesday, May 28, 2014

සප්ත්‍ය කන්‍යා කඳුවැටිය මත රැයක්......... [Night at the Seven Virgin peaks].




රේල් හයික් එකෙන් පසු ඇඟට දැනෙන්ට ගමනක් නොගිය බැවින් සහ මේ වසරේ සැලසුම්කරගෙන තිබු පරිද්දෙන් සප්ත්‍ය කන්‍යවියන් මැද රැයක් ගත කිරිමේ අපිරිමිත ආශාවෙන් පෙලෙන්නන් වු අප බක්මහේ මුල් සතියෙහි දුෂ්කර ගිරි හිස් තරණය කලේමු.


අපි සගයන් සයදෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක්විමු, නමුත් අපගේ එක් සගයකු හැටන්වලදී ද අනේකා ලක්ෂපානදී ද අපහා එක්වන්නට නියමිතය. වේලාව රාත්‍රි 8ට ආසන්නය බදුල්ල බලා දිවෙන රාත්‍රි දුම්රිය මෙවරද අපේ ගමන් රථය ලෙස යොදාගතිමු. දුම්රිය පිටත්වීමට තව ඇත්තේ විනාඩි දෙකක් පමනි අප නොයිවසිලිමත්ය, මන්ද අපේ එක් සගයෙකු තවමත් ප්‍රමාද බැවිනි. දුම්රිය තම සුපුරුදු නලා හඬවමින් ඉදිරියට ඇදෙන්නට සුදානම්වෙත්ම සෙනග අතැරින් දිව ආ අපේ මිතුරා දුම්රිය කුටියට ඇතුලුවිය.


කොළඹ හැටන් මහා මාර්ගය ඔස්සේ කලුගල හන්දියට විත්, ලක්ෂපාන මාර්ගයෙන් කොත්තැල්ලනට යාහැකිවුවත්, රාත්‍රි තැපැල් දුම්රියෙන් හැටන්වලට විත්, උදැසන ගිනිගත්හේන ඔස්සේ කොත්තැල්ලනට යෑම අපේ අරමුන විය. ඇරත් රාත්‍රි දුම්රිය ගමන බසයේ ගමනට වඩා නිස්කලංක  සහ සංතුස්ටිය උපදවන්නකි.
අළුයම 1.30ට පමණ හැටන් දුම්රිය පොළට සෙන්දුවීමු. 



 දුම්රිය විවේකාගාරයට පිවිස කෙටි නින්දක් ලබාගතිමු . උදැසන අපේ තවත් ගමන් සගයෙක් හැටන් වලදි අප හා එක්වීමත් සමග අප නැවත ගමන් ඇරඹීමු, කොත්තැල්ලන බලා යෑමට ගිනිගත්හේන බස් නැවතුමෙන් බසයක් අල්ලා ගතයුතු විය.

ගිනිගත්හෙනින් පිටත්වි ලක්ෂපාන මග ඔස්සේ කොත්තැල්ලන බලා යන ගමනේදි අපගේ අවසන් සාමාජිකය අප හා සම්බන්ධවිය. පැවති පෑවිල්ලත් සමග මග දෙපස තරමක් කර්කෂ බවකින් යුක්තය, අප ගමන්ගත් මාර්ගය කාපට් අතුරා නොමැතිවු අතර මග තැනින් තැන තරමක් කඩතොලු බවින් යුක්තවිය, ඉදින් බසයේ ගමන්වේගයත් සමගින් අප දුහුවිලි වරුසාවන්ට අසුවු අවස්තා එමටය.

බසය තම ගමනාන්තයට පැමිනියේය. අවසන් නැවතුම අසල තරමක කඩයකි, පාරේ අනෙක් අන්තය සරු තේ වතුයායකින් පටන්ගෙන සප්ත්‍යකන්‍යා කඳුපන්තියෙ තෙක් විහිදින. කඩය හිමිකරු තලතුනා තැනැත්තකු මෙන්ම ඉතිහාසගත ගුවන්යානා අනතුර පිළිඹඳ අත්දැකුම් ඇත්තෙකුද විය. මොහොතක ආගිය තොරතුරු සල්ලාපයෙන් පසු අප තේ යාය ඔස්සේ කඳු පන්තියේහි පිවිසුම වෙත පියවර තැබිමු.










තේ යාය පසුවීමත් සමග ඔවිටක ස්වරුපයක් ගත් බිම් කඩක් පසුකල අප ගෙවල් කිහිපයකින් සැදි ගොඩැල්ලකට පිවිසීමු. ගැමියන් අප සුහදව පිලිගත් අතර කඳු මං පෙත අපට පෙන්වා දෙන ලදි, සිරිත් පරිදි වෙනදාමෙන් වනයට ඇතුලුවීමට පෙර දෙව් අවසරද ගෙන ශක්තිමත් සිතින් රූස්ස ගස් අතරට පිවිසීමු.
එකවරම සීග්‍ර නැග්මක යෙදෙන්නට අපට සිදුවිය, එතරම් ඝන යටි රොපනයක් නොමැති වූයෙන් නැග්ම එතරම් අපහසු වූයේ නැත. පලමු සහ දෙවන කඳු මුදුන් පසුකරන තෙක්ම වල්ලාපට්ට ශාකය දරුණු විනාශයකට ලක්ව ඇති බැවු දක්නට ලැබින, අවශේෂ කොටස් ලබාගැනිමට බොභෝ ශාකයන් කපා කොටා පෙරලා දමා තිබුනි.

තෙවන කඳුමධ්‍යට පැමිනෙන විට යටිවගාව කෙමෙන් වෙනස්වීය, තැනින් තැන බටපඳුරු දක්නට ලැබුනි. ඇතැම් තැන්හී විශාල ගස්කඳන් වැටී තිබුන බැවින් ගමනේ වේගය තරමක් අඩාලවිය. එසේම තරමක කලුගල් තට්ටුවක් කන්දවටා පැතිර තිබුනි. ඉර අවරට යමින්තිබුන  බැවීන් හතරවන කඳුමුදුනේහි කුඩාරම ගසාගැනිම අපේ අරමුන විය.

තෙවැනි මුදුන පසුකල අප තරමක දළ බෑවුමකට සේන්දුවිය,පහලට බසීත්ම සතරවෙනි කඳුමුදුන තරමක මීදුමකින් වේලියනු දක්නට ලැබුනි, වැසි වනාන්තරවල ලක්ෂණ මනාව විදහාපාමින් රූස්ස ගස් අතුපතර විහිදා විශාල පත්‍රයන්ගෙන් සමන්විත විය. එනිසාම අඳුර තරමක් දැඩී වියරැහැහියන්ගේ කෲෂ් නාදය සතරවටින්ම නැගී එන්නට වූයේ සිත කීරිගස්වමිනි. 


සතරවන කඳු මුදුනට ලඟාවෙත්ම ආනතියෙන් යුත් ගල් පොත්තක් නැගීමට අපට සිදුවිය. එසේම පලමු වරට අලි බෙටි තන්හි තන්හි දක්නට ලැබුනි, තරමක මීදුමක් අප වෙලාගත් බැවින් නැග්ම පරික්ෂාකාරීව කරන්නට සිදුවිය.  ඇතැම් විට පා සතරම උපයොගී කරගෙන ඉහලට යායුතුවිය. වැසි සමයේ ආරම්භය සනිටුහන් කරමින් අහස ගිගුරුම් දුන් අතර තරමක සිරි සිරි වැස්සක් ඇදහැලෙන්නට පටන්ගැනින. ගල්පොත්ත අවසන් වූ පසු ඝන බට ගාලක් අතරින් ගමන් කිරිමට සිදූවිමත් සමග කූඩැල්ලන්ගේ නොනවතින් ප්‍රහාරයට අප නිතැතින්ම ගොදුරු විය. 




වැස්සර තරමක් තුරල්වෙන විට අප නැවත යටිරෝපනය අවම ප්‍රදේශයකට ලඟාවිය. ඒ සතරවැනි කඳුමුදුනයි, වේලාව සවස 5හ පසුවෙමින් තිබූ බැවින් ඉක්මනින් කුඩාරම ගැසිය යුතුවිය , නැවත වැස්ස වැඩිවෙමින් තිබු මොහොතක වදෙන් පොරෙන් කුඩාරම ගසා ගත්තෙමු. අප මිතුරකු වැසි කබායක් ගෙනැවිත් තිබූ බැවින් වැසි මැද කුඩාරම ගැසීමට එය මහත් පිටුවහලක් විනි. නැවත වැසි තුරල්වීමෙන් පසු ගිනිමැලය ගසාගත හැකිවිය. කැලයේ ඇති තරම් දිරාගිය බටගස් තිබු බැවින් දර පිළිඹඳ ගැටලුවක් අපට ඇතිනොවීන. තරමක වැසි වැටුනද අළුයම් කාලය තෙක් ගිනිමැලය දැලුවුනු බවට, උදැසන අප අවදිවන විටත් දුම් රොටු විහිදෙමින් තිබු ගිනි අඟුරු ශාක්ෂිදැරීය.

රාත්‍රි ආහාරය චීස් සහ ක්‍රිම්කැකර් වලින් යුත්වූ බැවින්, උදෑසන සඳහා තරමක බර ආහාරයක් ගැනිමට අප සිතුවෙමු. ඒනිසාවෙන්ම නූල්ඩස් සමග මීට්බොල්ස් පිස ආහාරයට ගතිමු. ඒ කදිම ආහාරවේලකි, කුඩා කැබලි වලට කඩාගත් නූල්ඩස් උනුවතුර සහිත බොතල් කිහිපයකට දමා තම්බා ගැනිමෙන් පසු වතුර පෙරාහැර, ගිනි අඟුරු මත පිලිස්සෙමින් තිබු මිට්බොල්ස් සමගින් මිශ්‍ර කර ප්‍රනීත බොජනයක රසය වින්දෙමු.


උදෑසන 7 වනවිට  නැවත පිටත්වීමු, සතුන්ගෙන් සෑදුන වනමං ඇරෙන්නට කිසිඳු අඩිපාරක් දක්නට නොලැබින. ඒ නිසාවෙන්ම කඳු පන්තියේ ආනතිය අසලින්ම අපි ගමනෙහි යෙදුනේ වනාන්තරය මධ්‍යයෙන් ගමන් කිරිමෙන් මංමුලා වීමට බොහෝ ඉඩකඩ තිබූ බැවිනි. කඳු පන්තියේ ඉහල ප්‍රදේශයේ අප ගමන් ගත් බැවින් රූස්ස ගස්වලට වඩා යටිවගාව ඉතා ඝනව වැඩි තිබුනි. එය තනිකරම බටකෑලැවකි අපගේ ගමන් වේගය තරමක් මන්දගාමි වූයේ බටගාල් කඩා බිඳගෙන ඉදිරියට යෑමට සීදුවීම නිසාය. ඇතැම් විට දනගාමින් ගමන් කිරිමට සිදුවිනි.

පස්වෙනි කඳුමුදුන පසුකරමින් අප කඳු පන්තියේ උසම මුදුන වූ උඩලක්ෂපාන ගල වටා ගමන්කරමින් සිටියෙමු, සයවන සහ හත්වන කඳුමුදුන් අතරවු ඒම පෙදෙස විශාල අලි මංකඩකින් යුක්තවිය, එසේම වනස්පතිය එක් අන්තයක් දෙහිඔවිට බස්නාගල නූරිය ප්‍රදේශය දිශාගතව පැතීරියයි, මා පෙරකියූ අලි පාරද කන්ද වටා බස්නාගල දිසාගතව විහිදී තිබුනි.


එසේම කඳුවැටියෙහි අපට දැකගතහැකිවූ එකම දියපහර සමුවූයේද හයවන සහ හත්වන මුදුන් අතර මේ ප්‍රදේශයෙදීය. ඉතා කුඩා දියපහරක් වු නමුත් මෙතෙක් හිස්ව තිබූ අපගේ වතුර බොහොතල් කිහිපයක්ම යලි පුරවාගැනිමට අපට හැකිවිය. දියකඳුර වටාපිටාවෙහි බොහෝ අලි බෙටි දක්නට ලැබිමෙන් ඔවුන්ද එම කඳුරෙහි නිතර ගැවසෙන්නන් බව අපට පසක්විය.


1:50000 සිතියමට අනුව දියකඳුරු කිහිපයක් දක්නට ලැබුනද ඒවා කඳු පංතියෙහි මුදුනේසිට මිටර 100ත් 200 අතර බෑවුම්ගතව පටන්ගෙන ගලා යන බැව් අපට පසක් විය.  කඳු මුදුන් ඔස්සේ ගමන්කරන විට හමුවන එකම දියකඳුර  හයවන කඳුමුදුන පසුකර හත්වන මුදුන පටන්ගන්නා ඉසව්වේදී දැකගත හැක. නමුත් දින දෙකක් ගතකිරීමට අවශ්‍ය පමන වතුර අප අනිවාර්‍යෙන්ම රැගෙන යායුතුමය.


දියකඳුර පසුකර අවසන් කන්දෙහි නැග්මක යෙදුන අප ගල්තලාවකට සේන්දුවිය වේලාව පෙරවරු 10 පසුවූවා පමනි එක්වරම ඝනමීදුමකින් හාත්පසවෙලීගත්තේය. ටිකවෙලාවක් අප ගල්තලාවේහි රැදුනි, මන්ද මීදුමත් සමග ගමන මහත් අවදානම් බැවිනි. ගල්තලාව අවට අලි බෙටි මෙන්ම ගෝනන්ගේ වසුරුද දැකගතහැකිවිය. ගෝනන් ගැවසෙන බවට ලැබුනු මුල්ම සඥාවයි ඒ.




මීදුම පහවයත්ම අප නැවත අවසන් කඳු මුදුන කරා වේගවත් ගමනක යෙදුනෙමු. බට පඳුරු වඩා ඝනව වැවීතිබුනේ ඉදිරියෙන් එන කිසිවකුත් නොපෙනෙන අයුරිනි. බොහෝ විට බටපඳුරු පීරාන වඩා බිමට නැඹුරුව ගමන් කිරිමට සිදුවිය. මං මෙත පාදාගැනිමට අප ගෙනැවිත් තිබු වක් පිහිය බොහෝ උපකාරිවිය.
පෙරදිනට කලියෙන් වරුසාව පතිතවීමේ ලකුනු අහස්කුස පුරා දක්නට ලැබුන අතර කඳුකර කැලැව වඩාත් තෙත්ගතියෙන් යුක්තවිය, ඒනිසාම කුඩැල්ලන් සමග නිරන්තර අරගලයක යෙදි හෙම්බත්වි සිටි අප අවසන උන් අපේම ශරීරකොටසක් යැයි සිත්සනසා ගත්තෙමු.  නමුත් විශේෂත්වය වන්නේ අප හොඳින් දෙපා ආවර්ණයකොටගෙන තිබූවත් බට අකුල් සමග පොරබැදිමෙන් උන් අපගේ සිරුරපුරා එල්ලි සිටිමයි, බොහෝ විට ඉනවටා කුඩලු පොකුරු සිත්සේ ලේ බීමෙහි නිරතවිය.

 කුඩැල්ලන් මතතකයත් සමක අපගේ එක් ගමන් සගයකු පැවසුවක් සිතට නැගේ


" මුං ඔක්කොම එක්ක මුහුදට පනින්න හිතෙනවා " නොසන්සුන් සිතිවිලි අතර  ඉබේම මුවින් පිටවු ඒවදන් අප කාගෙත් මුවගට සිනාකැන්දුවේය.



දහවල මැද අප අවසන් කඳු මුදුන පසුකලේමු. කෙමෙන් කෙමෙන් බැස්ම ත්‍රිවූර කෙරෙමින් ඝන යටි රෝපනයද අවම මට්ටමකට පත්ව තිබුනි. නමුත් තන්හි තන්හි තරම උසින් යුත් බට පඳුරු දැකගත හැකිවිය. පස්වරු 2ක පමන වෙත්ම සිරිපොද වැස්ස ඇදහැලීමට පටන්ගෙන ක්‍රමයෙන් තරමක් වර්ධනයවිය, අප කෙමෙන් තෙත්බරිවු අතර කෙසේ හෝ වනාන්තරයෙන් පිටතට පැමිනීම එකම අභිලාෂය වූයෙන් නොනැවති ඉදිරියටම ගියෙමු.






බැස්ම දැඩි ආනතියකින් යුක්ත වු අතර පහලට බැසීම ඉතා සීරුවෙන් කලයුතුවිය, තරමක දියපහරක් පහලට ගලායෑමෙන් සැදුන මංකඩක් ඔස්සේ අප පහල බැසීමුඇතැම්විට ආධාරකයන් ලෙසට බට පඳුරු උපකාරීවිය, එකා පසුපස එකා තරමක දුර ප්‍රමානයක් පවතින ලෙසට බැසීම සිදුකල යුතුවිය, කිමද යත් සමහර ගල් කැබලි අඩමානයට තිබූ අතර, ලිස්සා ගොස් පහලින් ගමන්කල පුද්ගලයාට අනතුරක් සිදුවීමට වඩා ඉඩකඩක් පැවති නි. කෙමෙන් පහලට බැසීම ඉතා මන්දගාමිවු අතර මිටර300ක පමන බැස්මකින් පසු බැවූම ප්‍රපාතාකාරි වූ බැවින් කන්ද හරහා ගමක් කර ගස්වැල් ආධාරයෙන් අවධානම අවමවන ලෙසට පහලට ඒමට සිදුවිය.

සවස 5හ පමන වනවිට කඳුවැටිය අන්තයේහි ගලාහිය කැලණි ගඟ වෙත පැමිනිමට අපට හැකිවිය. අනේක් ඉවුරින් නැවත කඳුවැටිය පටන්ගත් අතර ඒ සමනොල අඩවිය කරා පැතිරයන්නක් විය, අපගේ ගමන් මග දිසාගතවූයේ ගඟ පහලට බැවින් ගල් උඩින් පනිමින් ගඟ ඔස්සේ පහලට ගමන්කලෙමු. වැස්සත් අඳුරත් තෙහෙට්ටුවත් අතර නොසන්සුන් සිතිවිලි සමග පොරබදිමින් අප පහලටම පැමිනියෙමු.  ගඟ පටන්ගැන්මේ මුල් ප්‍රදේශය බැවින්  දෝ කුඩා කුඩා දියඇලි කිහිපයක් තරණය කිරිමට අපට සිදුවිය. ගමන නිමාකිරිමට තිබු දැඩි අවශ්‍යතාව නිසාමදෝ අප එම කුඩා ඇලි වලින් බැස්සා නොව පැනදිව්වාක් යැයි කීම අතිශොක්තියක් නොවේ. ඒ අතර පය ලෙස්සා වැටුන අවස්තාද ඔනෑතරම්ය. මීටර 700ක් පමන පහල බැසිමෙදි තේවතුයායට පිවිසිමට අපට හැකිවිය. ඒ ඔස්සේ තේ ෆැක්ටරිය තිබු පෙදෙසට අප පැමිනෙන විට සවස 6 පසුව තිබුනි. මනුස්ස වාසයට පැමිනිමත් සමග මහත්වූ සැහැල්ලුවකින් සිතගත වෙලාගත් බවක් අපට දැනුනි.



අපගේ වම් අන්තයෙන්, අප තරණයකල සප්තකන්‍යවියන් මිහිදුම්සේල මතින් සැරසි අහස්කුස අරා නොසැලිසිටි. ඒ දෙස බැලෙත්ම කෙතරම් කෙඩෙත්තු සිරුරක් තිබුනද සිත මහා ප්‍රිතියකින් වෙලි අමන්දානයට පත්වන්නේ අපගේ අරමුන සාක්ෂාත් කරගැනිමට හැකිවුබැවිනි. නොපෙනෙන ශක්තීන්ට පින්සිදුවන්නට සහ කන්ඩායමේ මහත්වු එකමුතුකමින් කිසිදු අන්තරාවකින් තොරව වනයෙන් පිටතට පැමිනිමට අපට හැකිවිය. කොත්තැලනින් නැගීම පටන්ගත් අප මස්කෙලිය ප්‍රදේශයෙන් ගමන අවසන් කලේමු. අද රාත්‍රිය ලක්ෂපාන අපගේ ගමන් සගයාගේ නිවස්නයේහි රැදී පසුදා අළුයම නිවෙස්බලා යැමේ සොඳුරු සිතිවිල්ලෙන් රාත්‍රි අඳුරහා මුසුවීමු.