Monday, June 25, 2012

බිංදු - 5




4 වන දිගහැරුම


" බන්ඩො අත්තත් එක්ක මං හේන් කොටන්ට යනවා බං....."

වැවු බන්ටෙක උඩ ඉඳගත් බිංදු ඇලපහරේ දෙපා හොවා, වතුර කැලතූවේ හිතේ බර දියකර හරින්නට මෙනි...

" එතකොට විභාගේ..."

ගලක් අතට ගත් බන්ඩා රළ නගන දොලපහරට විසිකලේය...

" විභාගේ කොරන ගමන් අත්තට උදව්වෙන්ට පුලුවන් නොවැ බං...."

" හෙම්...උඹේ උදව්වට මාත් එන්ඥාං....දැං හනිකට නාගෙන ගෙදර යමං ඇඳිරිවැටෙන්ට ලඟයි බං...."

බිංදුගේ කරට අතක් තැබු බන්ඩා වාරුදී හුන්තැනින් නැගිට්ටේය....

---------------------------------------------------------

" දුවේ දැං වත් ඔය වැලපිල්ල නවත්තගනිං...දැං ඉතින් ජිවත්වෙන්ට කරමයක් හදාගන්ට එපායැ බං.."

බුලත් හපය හක්කේ එක් පසකට තදකරගත් සියදොරිස් කුස්සි උළුවස්ස අතැරින් කෙලපිඩක් පිළිකන්නට විද්දේය.

" අනේ මන්දා තාත්තේ ඉස්කොලේ ඇරිලා ආවෙලේ හිටං කොලුවගේ කාරිය කල්පනාකරන එකමයි "

ඇඳි චිත්තපොටින් තෙත්වූ දැස පිසදාගත් බිසෝ කුස්සි උළුවස්සට හෙත්තුවිය

" උඹ ඔහොම අඬන්ට තියාගත්තාම ඌ කල්පනා කොරන එක අහන්ට දෙයක් යෑ බං...දැන් ඉතින් හිත හයිකොරා ගනින්..ඌ මෙදා සැරේ විභාගේ කොරන්ට ඉන්න එකේ කොලුවගේ හිත කලබොල කොරන වැඩ නොකර ඉඳිං..."

 " තාත්තා මට මොකෑ කොරන්ට කියන්නේ, අර ගහක් ගලක් වගේ හිටිය මනුස්සයා අපිව දාල ගියානේව...."

" උඹ කලබල නොවී ඉඳහං මට තාම හයිය හත්තිය තියෙනව ලොකු කොලුවගේ හේන මං කොටනවා..."

" අනේ තාත්තට පුලුවනෑ ඔවා කොරන්ට, මං ගඩොල් පොරනුවේ වැඩට යන්ට හිතාන ඉන්නේ..."

" අනේග් මගේ කට...උඹට වැඩකොරන්ට හොඳ තැනක්ය බං ඒ..මගේ ඉහට යස්සයා ආරුඩ කොරන් නැතුව...ගනිං මෙන්න මෙහාට ඔය වතුර පොල්කට්ට..."

බිසෝ දික්කල වතුර පොල්කටුවෙන් හැපූ බුලත් හපය සොදා හැරි සියදොරිස් පිළිකන්නේන් ගෙට ගොඩවිය...

---------------------------------

" අම්මේ උඹැ කොහේද බං........"

තෙත සරං කොටය මිරිකා වැලට දැමමින්ම බිංදු ගෙට ගොඩවිය....

" ආං....අත්තේ මයේ අම්මා කඳුලු හලන එක දැන්වත් නවත්තලා.....දැ..."

බිංදු මුනින් නවා තිබු ගල්  වංගෙඩියේ හිඳ ගත්තාය.

" අනේ අම්මාපල්ල මෙකා පැහිලා නේව වයසක උදවියට ඔහොමත් කතාකොරනවද මං අහන්නේ..."

සිතට නැගුන මහත්වූ සෙනෙහසින් සියදොරිස් තම මුනුපුරාගේ හිස අතගැවේය....

" අත්තේ මාත් එනව අත්තා එක්කං හේං කොටන්ට යන්ට..ඉස්කොලේ ගොහින් ඇවිත් හවහට මටත් පුලුවනි එන්ට.... බන්ඩෙත් මයෙත් එක්ක එඥාං කීවා..."

කුස්සි උළුවස්සට පිටදී හුන් බිසෝටත් හිරමං කොටය උඩ හුන් සියදොරිස්ටත් ඉබෙටම මුහුනින් මුහුන බැලිනි....



විරාමය...  





Tuesday, June 19, 2012

බොනස් එක සපත්තුවේ......




   ක්‍රිස්ටි බැංකු සේවකයේකි..තම රාජකාරි කටයුතු ඉතා හොඳින් ඉටුකිරිමට මොහු කිසි විටෙකත් මැලිවූයේ නැත.රාජකාරි ස්ථානය මොහුට එකම රස ගුලාවකි. දහවල් කෑම පැයේ මොහු දොඩන කතාන්දර ඇසීමට ඇතැම් විට මැනේජර් මහතාද පැමිනේ.

  සවස රාජකාරි අවසන්වූ පසුද කන්තොරු මිතුරන් සමගින් තරමක් වේලා සල්ලාපයේ යෙදී සිටීම, මොහුගේ දින චරියාවේ එක් අංගයකි.

  සුපුරුදු ලේස මෙවරත් වාර්ෂීක බොනස් පත ක්‍රිස්ටි ගෙදර ගෙනාවේය.ක්‍රිස්ටි ක්‍රිස්තියානි බක්තිකයෙකි,මෙවර බොනස් පතෙන් නත්තල ඉහලින්ම සෑමරීමට ක්‍රිස්ටී අදිටන්කරගෙන සිටියේය.

   අර කොහේදො ලියවී තිබෙන්නාක් මෙන් ගැහැනුන් මුදල් දුටුවොත් නැති උවමනාද ඇතිවෙන බවක් ක්‍රිස්ටි විස්වාස කලේය. බිරිඳටද නොකියා ලද බොනස් පත පරණ සපත්තුවක් තුල සැඟවූයේ වැඩි පරිස්සමටය.

 මුදල් සඟවා දවස් කිහිපයක් ගතවිය...... නත්තල ලඟ එන බැවින්, ගෙදර අලංකාර කිරිමට  ක්‍රිස්ටිට උවමනාවිය,  පෙන්ට් බකට් ගැනිමට මූදල් උවමනා බැවින් තමා සැඟවූ බොනස් මුදල ගැනිමට ක්‍රිස්ටි පරණ සපත්තු රාක්කය වෙත ගියේය.

  තමුන් දැනටමත් පාවිච්චියට ගන්නා සපත්තු හැරෙන්නට පරණ සපත්තු කිසිවක් එහි නැත, ක්‍රිස්ටිහේ හඬ අවදිවූයේ ඉබෙටමය..


" නොනා........ කෝ....... මෙතැන තිබ්බ මගේ පරණ සපත්තු..."

" ආ ඊයේ පරණ බඩු එකතුකරන මිනිහේක් ආව මම ඒවා දිලා දැම්මා...ඒව්වා ගෙදර ගොඩගහල තිබ්බට වැඩක් තියෙනවයෑ.... ඒ මිනිහා අලුත් බේසමකුත් දිලා ගියා ඒවට හිලව්වෙන්ඩ..."

" අනේ උබේ බෙසම....@@##$%% ගෑනියේ මේපාර මුලු බොනස් එකම මගේ පරණ සපත්තු කුට්ටමේ...බං කොහේටද ඌ ගියේ..."

එදින මුලු දවසම, ඔහුගේ නිවස පිහිටි ප්‍රදේශය පුරා පරණ බඩු කාරයා සේවූවත් ක්‍රිස්ටිට බොනස් එකනම් නැවත ලැබුනේ නැත.

 නමුත් විස්තරය දැනගත් බැංකුවේ මිතුරන්,  මුදලක් එක්කාසුකර පසුව ඔහුට ලබාදී තිබින.    

  

Wednesday, June 13, 2012

බිංදු - 4



" ලමයිනේ හෙට එනකොට සහිත්‍ය පොතේ 3වෙනි පාඩම කියවං එන්ඩලා, හෙට අපි ඒ ගැනයි කතාකරන්නේ. හොඳයි ඔක්කොම නැගිටින්න ආයූ බොවන්..."

තාත්තාගේ හත්දොහේ දානය දී දින කිහිපයක් ගතව ඇත, පන්සලේ ලොකු හාමුදුරුවොත්, ලොකු ඉස්කොලේ මහත්තයාත් පිටව යන්නට කලියෙන් දුන් අවවාද හිස තුල තවමත් දොංකාර නගන්නාක් මෙනි.
 
" බිංදු, කරදර අපි කාටත් උරුමයි ඒවා අද ද හෙටද කියල නෑ දෛරිය අරං ඇස් ඇස් සී ය පාස් කොරාගන්ට ඔනා තාත්තගේ බලාපොරොත්තු ඒ විදිහට ඉටුකරන්ට හිතට ගනිං"

   තාත්තාගේ හදිසි මරණයෙන් සිහි එළවා ගන්නට බැරිසෙයින් අම්මා සිටින්නේ හැඬු කඳුලෙනි.මෙතුවක් කල් කෙළිදෙලෙන් ගතකල බිංදුගේ සිතට නුපුරුදු බරගතියක් දැනින.  

    " ආ...යූ...බො..වා...න්.. ටිචර්..."

පංතියේ කොට බිත්තියට එපිටින් අහස් කුස දෙස හිස් බැල්මෙන් යුතුව සිටි බිංදු ලමුන්ගේ ඝොශාවෙන් ප්‍රකෘතියට එළැඹීය.

  " බිංදු පොඩියකට එමු මයෙත් එක්කං ලොකු ඉස්කොලේ මහත්තයා මුනගැහිල එන්ට යන්ඩ"

නන්දාවති ඉස්කොලේ හාමිනේ අච්චු පොත් කිහිපය ඇකයේ රඳවමින්ම පංතියෙන් පිටවන්නට පෙර බිංදු ඇමතීය...

 බිංදුගේ මතකය හරිනම් පාසැලෙදි කා සමගින්වත් ආරොවකට පැටළිනැත, එසේ නම් ලොකු ඉස්කොලේ මහත්තයා මුනගැහෙන්නට තමන්ට අඬගසන්නේ කුමකටද, හුන් තැනින් නැගි සිටි බිංදු සිතිවිල්ලේම ඉස්කොලේ හමිනේ පසුපස්සේ වැටින...
 
" එමු එමු ඉස්කොලේ හාමිනේ....ම් බිංදු පුතත් ඇවිත් ඉන්නේ කොහොමද නන්දාවති මැනිකේ බිංදු පාඩං වැඩ වෙනදා වගේ උනන්දුවෙන් කරනවද..."

පිරීසියකින් වසා තිබු වතුර විදුරුවෙන්, වතුර උගුරක් පානය කල මුල් ගුරුතුමා නැවත පිරිසියෙන් විදුරුව වැසීය.

" එක නොවෙන්නම් ලොකු මහත්තයා මාත් බිංදුට කියන්නේ තව ඒ හැටි කාලයක් නෑ නොවැ විභාහගේට ඔහොම කල්පනා කොර කොර ඉඳලා පුලුවනෑ, ඉස්කොලේ ඉන්න දස්සම ලමයා වෙච්චි කොට"

දකුනතට බරදෙමින් නන්දාවති මැනිකේ වමත කම්මුලේ  රුවා ගත්තේ ශොක බරිත දෙනෙතිනි.

 " බිංදු ..පුතේ ජිවිතේ ගැන තෙරුම් ගන්ට උඹට තවම ඒහැටි වයසක් යෑ...එක මං දන්නව මගේ මේ 20සි 30ස් වසරක ගුරු ජිවිතේදි දස්සයො හම්බ උනේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්, උබත් ආං එයින් එකෙක්..මයේ පුතේ කල්පනා කොරල පලක් ඇතැ දැං ඉස්කොලේ පාඩං වැඩ හරියට කොරල එස් එස් සී පාස්වෙන්ට බලන්ට ඔනෑ...
  තාත්තට හරි ඔනෑ කමක් තිබ්බා උඹට ඉහලට උගන්නන්ට තාත්තගේ බලාපොරොත්තු අහක දාන්ට එපා...."

  මෙතෙක් නාසයට බරක්ව තිබූ කන්නාඩි කුට්ටම අතට ගත් මුල් ගුරුතුමා එය ගුරුමෙසය මත තැබීය.

" හොඳයි බිංදු පංතියට යන්ටකො එහේනම්....."

මුවින් කිසිත් නොදෙඩු බිංදු බිමට බර කරගත් දෙනෙතින් සුදු වැලි පිරුන පාසල් මිදුල දිගේ සෙමින් සෙමින් පංති කාමරය දෙසට පිය මැන්නේය.

" ඉස්කොලේ හමිනේ...බලන්ටකො සිද්ද උනේ හරි අපරාදයක් නේව..."

" ඒක  නොවෙන්නම් ලොකු ඉස්කොලේ මහත්තයො හොඳට ඉගෙන ගන්ට දස්ස ලමෙක් නොවැ මේ..."

ලයේ බර සැහැල්ලු කරගැනිමට දෝ.... ඇතින් මැකී යන බිංදුගේ රුව දෙස බලමින්ම නන්දාවති මැනිකේ සුසුමක් හෙලීය.

" හේම් බලමුකො තව ටිකක් කල් තියේනේ...මට 9මේ පංතියට පාඩමක් කියාදෙන්ට තියේ නන්දාවති එහේනම් මම යනවා ඒ පැත්තට..."


 ගුරුමෙසය මත වූ කන්නාඩි කුට්ටම නැවතත් ඇසේ රූවා ගත් මුල් ගුරුතුමා හිඳ සිටි අසුනෙන් නැගී පාසැල් මිදුලෙන් බැසගියේය.

 '' විමලෝ....කො බං අම්මා..............."

 හපමින් සිටි බුලත් හපය මිදුලට විසිකරමින්ම ගුනපාල ගෙට ගොඩවිය.

 " ආ ඔහේ ආවැයි....මං ඒත් බැලුව මොකෑ මේ සුනංගු කියාලා...ඔං අම්මා ලිඳට ගියා "

දනහිස් දෙකට වාරුදී දරුවා නලවමින් සිටි විමලාවති, නිදමින් සිටි සිඟිත්තා සෙමෙන් පං පැදුර මත තබා නැගිසිටියේය.

" ඒයැයිට දැන් නින්ද ගොහින්...හිටින්ට මං තේ කහට ඩිංගිත්තක් වක්කරන්ට.."

" විමලේ මෙදා සැරේ වෙළඳාම සරුයි බං, එක නිසා නොවැ අයියගේ මළ ගමටත් ඔය හැටි උදවු කොරන්ට ඇහැක් වුනේ.."

 පිළිකන්නට මුහුනලා දොරපියස්සට හේත්තූවි සිටි ගුනපාලගේ වතෙහි සටකපට සිනහවක් ඇඳින

" ඇත්තේයි අනේ පොඩි එකාගේ වාසනාව......"

කහට කොප්පයට සීනි හැන්දක් එක්කල විමලාවතී කොප්පය හැඳිගාමින්ම තෙපලේය

" හේම් එකනං එහේම තමයි විමලො, දැන් ඉතින් උන්ටත් යන කලදවසක් තියේයෑ..මුදලාලිත් උදවුකොරන්ට කැමතී නොවෑ බිසෝට කියහං බිංදු කොලුව අත් උදව්වට එවන්ට කියාලා, මොකෑ ඌ ඔයහැටි ඉස්කොලේ ගියා කියලා ආන්ඩුවේ තානාන්තර ගන්ට කියලයෑ බං....

තේ කොප්පයෙන් අඩක් තොලගෑ ගුනපාල ඉතිරිය විමලාවතිගේ අතේහි තැබීය....

විරාමය.......








     

Friday, June 8, 2012

සයිබර් සිහිනයට සෙවන දුන් මිතුර යලි නැගිටින්න



සයිබරයේ සිහින උළේල

බක් මහේදී පැවැත්වුනා

සයිබරයේ හිත මිතුරො

කුරේ පිටියේ හමුවූවා

ගෙවිගියේ මාස දෙකයි

සිදුවූයේ මහ විපතකි....................

ඊයේ ආපු මහ හුළඟට

කූරේ පිටිය

සළිත වෙමින්

සිහින උළේල

සෙවන කරපු

ක්‍රිඩා ගාරේ

හදිසියේම

මහ පොලවට

ඇද වැටුනා.........................................






Tuesday, June 5, 2012

බිංදු - 3



2 වන දිගහැරුම

 " බංඩො කොබං උක්කුවා ඌ කිව්වා නේව අද මයෙත් එක්ක ගොඩැල්ලට පිහිනනවා කියලා"

වැලේ තිබූ සරංකොටය සමගින් අතුරුදන්වූ බිංදු වැව් පිටියට පිවිසෙන්නේ පිටපොට ගැසු සරංකෙටියෙන් සැරසීගෙනය....

" මහිතේ උක්කුවා අද එන්නෑ බිංදු"

" අරමොකෑ බං ඒ...ඉස්කොලේදි පාරම්බෑවේ අහවල් එකටෙයි..."

අතේ තිබු කොට කලිසම පරිස්සමට රොල්කරමින්ම බිංදු, නිරන්තරයෙන් වැව් ඉවුරේ වදින රළකැටියෙහි දෙපා එබුවේ සුදුපෙනකැටි විසිරි යන පරිද්දෙනි

"මං එනකොට, උන්දැලගේ හෙන ගිනිලනවා කියාලා.... හෙතුහාමි මාම එක්කං බැද්දට ගාටනවා හදිගැහුනා ඔං"

ඈත මුකලාන දෙසින් ගිලීයන හිරුගේ අවසන් රැස් වලල්ල වැටි වැව් දිය රිදී පාටින් බැබලින.ගම කොලුකුරුට්ටන්ගෙන් පිරි වැව්පිටිය එකැම කෙළි බිමක් සේ ඇතට දිස්වේ.

" එකත් එහේ මැයි අපි මොකැ බං අද කරන්නේ"

" පීනමුද ගොඩැල්ලට, ඇටඹ ගස්වල ඇටඹ පිරිලා අං බලහං බිංදු ගොඩැල්ලට උඩැහිං කුරුල්ලෝ පියැඹින හැටි..."

සුපුරුදු නුගගස් දෙබොක්කේ කොට කලිසම සැඟවූ බිංදු බංඩා සහ තවත් ගැටයන් කිහිප දෙනෙකු සමගින් ගොඩැල්ලට පීනිහ.ඇටඹ ඵල වලට වහවැටී ඇටඹ බුදිමින් නොයෙක් කෙලිකවට කම්හි යෙදෙමින් සිටින ගැටයන්ට කාලය ගතවෙන  සෙයක් නොදැනින.

"ඔන්න වවුල්ලුත් මේපැත්තට පියාඹිනව, බංඩෝ ගොම්මන තදවෙන්ට කලියෙන් පිනමු වෑපිටියට."

බිංදු කියන්නක් ඇසීමට මෙන්ම කිරිමට ද, කොලු නඩය පෙළඹෙන්නේ නිරායාසයෙනි. ඒ උරුව බිංදුට සහජයෙන් උරුම ඌවක් බව වෙලාපත්කඩය බැලූ ලොකු හාමුදුරුවො බිසෝ සමගින්ද කියා තිබින.

" බිසෝ කෙල්ලේ උබැ කොහේද බං.."

වට්ටක්කා හොද්ද හැඳිගාමින් සිටි බිසෝ නලලේ දැවටෙන කෙස් රොද කනේ රුවාගනිමින් කරට උඩින් ඉස්සී බැලිය.

" අප්පේ මේ සිරිගේ තාත්තා නේව, මං ඒත් බැලුව ගොම්මනේ කවුදැ කියලා, ඔහෙන් වාඩි ගත්තා ඥං....... කොහේ ගොහින් එන ගමන්දෑ....මේ?"

" මං පන්සල පැත්තේ ගොහිං එනගමං බං, විමලා පයිංඩයක් එවලා තිබ්බා දරුවටත් එක්කලා සෙත් ශාන්තියක් කොරවලා දෙන්ටය කියලා, ඇයිබං එකිටත් තාම ඒහැටි ගුනයක් නෑනේව..."

" හේම්.........හිටින්න මං තේකහට ඩිංගිත්තක් වක්කොරං එඥං..."

" මොකෑ බං කොලුව පෙන්ට නැත්තේ...ඒකා කොහේ අඃතරහක් දහන වෙලාද....?"

"නඩේත් එක්කං වෑපිටියේ නටනවා ඇති තාත්තේ....කොහේද කොලු රැලට වැටුනහම රැයක් දවාලක් පෙන්නේ නැනේව දැන් එනව ඇති මයේ හිතේ..."

වට්ටක්කා මාළුව ඉදෙමින් තිබු ලිපෙහිම මැටිකට්ට උඩින් වතුර කේතලය තියූ බිසෝ බුලත් හෙප්පුවත් රැගෙන ගේයි ඉදිරිපසට පැමිනියේය.

" වතුර පැහේනකං තාත්තේ, විටක්  හැපුවඥං...."

බිසෝ දොතින් දික්කල බුලත් හෙප්පුව අතට ගත් සියදොරිස් තරමක් ලොකු බුලත් කොලයක් මත ලතාවකට හුනු තැවරීය....

" ආං ලොකු හාමුදුරුවො බිංදු කොලුවට, කොලු රැලත් ඇන්න පන්සල පැත්තේ එන්ටය කීවා, මහිතේ පන්සල් වත්ත එලිකොරා ගන්ට වෙන්ටෑ "

" බි...සෝ...නැන්දේ......බිසෝ නැන්දේ....."

" හෑ මොකාද බං ඒ......මේ ගොම්මං යාමෙට බෙරිහං දෙන එකා...."

අතේ තිවු හෙප්පුව හාන්සිපුටු අතට බරකරමින් සියදොරිස් රැලි කොටගත් දෙනේතින් බිසෝ දෙසත් නැවත හඬා ආ දෙසත් බැලීය.

"හිටින් ඩිංගිත්තක් තාත්තේ බලන්ඩ මොකාද බිරුසං දෙන්නේ කියාලා"


ගවොමට උඩින් ඇඟ දවටාගන සිටි චීත්තය තදකොට ගනිමින්ම බිසෝ ඉදිරි දොරින් එලියට පිළිපන්නේය....

 "උක්කු පුතේ, මොකෝ බං මේ කෑමොර තියන්නේ,අපේ බිංදු කොලුව එක්කවත් ඔට්ටු උනාද උඹ"

දුහුවිලි වැකී දහදිය වැගිරෙන නිරුවත්  ලැම උස්පහත් වන වේගයට කොලුවා යමකට බියවී ඇති බවක් බිසෝගේ හිතට දැනින...

"නෑ නැන්දේ සිරි මාමා......"

" සිරි මාමා ඇයි බං කියහංකෝ තටමන්නැතුව මොකෑ බං පුතේ...?".

තරමක් ඇවිස්සීගිය ඉසකේ... රැලිකොටගත් දෙනෙතින්ද ලිප් දුමෙන් රත්පෑ ගත් බිසෝගේ වත බලන්නේකුගේ දෙනේතට ගෙනාවේ බයංකරත්වයකි

"සි..රී මාමට.....න..යා....ගහලා බිසෝ නැන්දේ...."

"ත්......තාත්තේ............................."


" හා..හා බිසෝ කෑ නොගහ ඉදින් ඩිංගිත්තක්....කොලුවෝ..මොකෑ බොල උනා කියන්නේ"


බිසොගේ කෑ ගැහිල්ලෙන් අඩියට දෙකට මිදුලට පීනු සියදොරිස් බියැති දැසින් තමන් දෙස බලා සිටි 
ගැටයාගෙන් විචාලීය...............


විරාමය.......