Wednesday, May 28, 2014

සප්ත්‍ය කන්‍යා කඳුවැටිය මත රැයක්......... [Night at the Seven Virgin peaks].




රේල් හයික් එකෙන් පසු ඇඟට දැනෙන්ට ගමනක් නොගිය බැවින් සහ මේ වසරේ සැලසුම්කරගෙන තිබු පරිද්දෙන් සප්ත්‍ය කන්‍යවියන් මැද රැයක් ගත කිරිමේ අපිරිමිත ආශාවෙන් පෙලෙන්නන් වු අප බක්මහේ මුල් සතියෙහි දුෂ්කර ගිරි හිස් තරණය කලේමු.


අපි සගයන් සයදෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක්විමු, නමුත් අපගේ එක් සගයකු හැටන්වලදී ද අනේකා ලක්ෂපානදී ද අපහා එක්වන්නට නියමිතය. වේලාව රාත්‍රි 8ට ආසන්නය බදුල්ල බලා දිවෙන රාත්‍රි දුම්රිය මෙවරද අපේ ගමන් රථය ලෙස යොදාගතිමු. දුම්රිය පිටත්වීමට තව ඇත්තේ විනාඩි දෙකක් පමනි අප නොයිවසිලිමත්ය, මන්ද අපේ එක් සගයෙකු තවමත් ප්‍රමාද බැවිනි. දුම්රිය තම සුපුරුදු නලා හඬවමින් ඉදිරියට ඇදෙන්නට සුදානම්වෙත්ම සෙනග අතැරින් දිව ආ අපේ මිතුරා දුම්රිය කුටියට ඇතුලුවිය.


කොළඹ හැටන් මහා මාර්ගය ඔස්සේ කලුගල හන්දියට විත්, ලක්ෂපාන මාර්ගයෙන් කොත්තැල්ලනට යාහැකිවුවත්, රාත්‍රි තැපැල් දුම්රියෙන් හැටන්වලට විත්, උදැසන ගිනිගත්හේන ඔස්සේ කොත්තැල්ලනට යෑම අපේ අරමුන විය. ඇරත් රාත්‍රි දුම්රිය ගමන බසයේ ගමනට වඩා නිස්කලංක  සහ සංතුස්ටිය උපදවන්නකි.
අළුයම 1.30ට පමණ හැටන් දුම්රිය පොළට සෙන්දුවීමු. 



 දුම්රිය විවේකාගාරයට පිවිස කෙටි නින්දක් ලබාගතිමු . උදැසන අපේ තවත් ගමන් සගයෙක් හැටන් වලදි අප හා එක්වීමත් සමග අප නැවත ගමන් ඇරඹීමු, කොත්තැල්ලන බලා යෑමට ගිනිගත්හේන බස් නැවතුමෙන් බසයක් අල්ලා ගතයුතු විය.

ගිනිගත්හෙනින් පිටත්වි ලක්ෂපාන මග ඔස්සේ කොත්තැල්ලන බලා යන ගමනේදි අපගේ අවසන් සාමාජිකය අප හා සම්බන්ධවිය. පැවති පෑවිල්ලත් සමග මග දෙපස තරමක් කර්කෂ බවකින් යුක්තය, අප ගමන්ගත් මාර්ගය කාපට් අතුරා නොමැතිවු අතර මග තැනින් තැන තරමක් කඩතොලු බවින් යුක්තවිය, ඉදින් බසයේ ගමන්වේගයත් සමගින් අප දුහුවිලි වරුසාවන්ට අසුවු අවස්තා එමටය.

බසය තම ගමනාන්තයට පැමිනියේය. අවසන් නැවතුම අසල තරමක කඩයකි, පාරේ අනෙක් අන්තය සරු තේ වතුයායකින් පටන්ගෙන සප්ත්‍යකන්‍යා කඳුපන්තියෙ තෙක් විහිදින. කඩය හිමිකරු තලතුනා තැනැත්තකු මෙන්ම ඉතිහාසගත ගුවන්යානා අනතුර පිළිඹඳ අත්දැකුම් ඇත්තෙකුද විය. මොහොතක ආගිය තොරතුරු සල්ලාපයෙන් පසු අප තේ යාය ඔස්සේ කඳු පන්තියේහි පිවිසුම වෙත පියවර තැබිමු.










තේ යාය පසුවීමත් සමග ඔවිටක ස්වරුපයක් ගත් බිම් කඩක් පසුකල අප ගෙවල් කිහිපයකින් සැදි ගොඩැල්ලකට පිවිසීමු. ගැමියන් අප සුහදව පිලිගත් අතර කඳු මං පෙත අපට පෙන්වා දෙන ලදි, සිරිත් පරිදි වෙනදාමෙන් වනයට ඇතුලුවීමට පෙර දෙව් අවසරද ගෙන ශක්තිමත් සිතින් රූස්ස ගස් අතරට පිවිසීමු.
එකවරම සීග්‍ර නැග්මක යෙදෙන්නට අපට සිදුවිය, එතරම් ඝන යටි රොපනයක් නොමැති වූයෙන් නැග්ම එතරම් අපහසු වූයේ නැත. පලමු සහ දෙවන කඳු මුදුන් පසුකරන තෙක්ම වල්ලාපට්ට ශාකය දරුණු විනාශයකට ලක්ව ඇති බැවු දක්නට ලැබින, අවශේෂ කොටස් ලබාගැනිමට බොභෝ ශාකයන් කපා කොටා පෙරලා දමා තිබුනි.

තෙවන කඳුමධ්‍යට පැමිනෙන විට යටිවගාව කෙමෙන් වෙනස්වීය, තැනින් තැන බටපඳුරු දක්නට ලැබුනි. ඇතැම් තැන්හී විශාල ගස්කඳන් වැටී තිබුන බැවින් ගමනේ වේගය තරමක් අඩාලවිය. එසේම තරමක කලුගල් තට්ටුවක් කන්දවටා පැතිර තිබුනි. ඉර අවරට යමින්තිබුන  බැවීන් හතරවන කඳුමුදුනේහි කුඩාරම ගසාගැනිම අපේ අරමුන විය.

තෙවැනි මුදුන පසුකල අප තරමක දළ බෑවුමකට සේන්දුවිය,පහලට බසීත්ම සතරවෙනි කඳුමුදුන තරමක මීදුමකින් වේලියනු දක්නට ලැබුනි, වැසි වනාන්තරවල ලක්ෂණ මනාව විදහාපාමින් රූස්ස ගස් අතුපතර විහිදා විශාල පත්‍රයන්ගෙන් සමන්විත විය. එනිසාම අඳුර තරමක් දැඩී වියරැහැහියන්ගේ කෲෂ් නාදය සතරවටින්ම නැගී එන්නට වූයේ සිත කීරිගස්වමිනි. 


සතරවන කඳු මුදුනට ලඟාවෙත්ම ආනතියෙන් යුත් ගල් පොත්තක් නැගීමට අපට සිදුවිය. එසේම පලමු වරට අලි බෙටි තන්හි තන්හි දක්නට ලැබුනි, තරමක මීදුමක් අප වෙලාගත් බැවින් නැග්ම පරික්ෂාකාරීව කරන්නට සිදුවිය.  ඇතැම් විට පා සතරම උපයොගී කරගෙන ඉහලට යායුතුවිය. වැසි සමයේ ආරම්භය සනිටුහන් කරමින් අහස ගිගුරුම් දුන් අතර තරමක සිරි සිරි වැස්සක් ඇදහැලෙන්නට පටන්ගැනින. ගල්පොත්ත අවසන් වූ පසු ඝන බට ගාලක් අතරින් ගමන් කිරිමට සිදූවිමත් සමග කූඩැල්ලන්ගේ නොනවතින් ප්‍රහාරයට අප නිතැතින්ම ගොදුරු විය. 




වැස්සර තරමක් තුරල්වෙන විට අප නැවත යටිරෝපනය අවම ප්‍රදේශයකට ලඟාවිය. ඒ සතරවැනි කඳුමුදුනයි, වේලාව සවස 5හ පසුවෙමින් තිබූ බැවින් ඉක්මනින් කුඩාරම ගැසිය යුතුවිය , නැවත වැස්ස වැඩිවෙමින් තිබු මොහොතක වදෙන් පොරෙන් කුඩාරම ගසා ගත්තෙමු. අප මිතුරකු වැසි කබායක් ගෙනැවිත් තිබූ බැවින් වැසි මැද කුඩාරම ගැසීමට එය මහත් පිටුවහලක් විනි. නැවත වැසි තුරල්වීමෙන් පසු ගිනිමැලය ගසාගත හැකිවිය. කැලයේ ඇති තරම් දිරාගිය බටගස් තිබු බැවින් දර පිළිඹඳ ගැටලුවක් අපට ඇතිනොවීන. තරමක වැසි වැටුනද අළුයම් කාලය තෙක් ගිනිමැලය දැලුවුනු බවට, උදැසන අප අවදිවන විටත් දුම් රොටු විහිදෙමින් තිබු ගිනි අඟුරු ශාක්ෂිදැරීය.

රාත්‍රි ආහාරය චීස් සහ ක්‍රිම්කැකර් වලින් යුත්වූ බැවින්, උදෑසන සඳහා තරමක බර ආහාරයක් ගැනිමට අප සිතුවෙමු. ඒනිසාවෙන්ම නූල්ඩස් සමග මීට්බොල්ස් පිස ආහාරයට ගතිමු. ඒ කදිම ආහාරවේලකි, කුඩා කැබලි වලට කඩාගත් නූල්ඩස් උනුවතුර සහිත බොතල් කිහිපයකට දමා තම්බා ගැනිමෙන් පසු වතුර පෙරාහැර, ගිනි අඟුරු මත පිලිස්සෙමින් තිබු මිට්බොල්ස් සමගින් මිශ්‍ර කර ප්‍රනීත බොජනයක රසය වින්දෙමු.


උදෑසන 7 වනවිට  නැවත පිටත්වීමු, සතුන්ගෙන් සෑදුන වනමං ඇරෙන්නට කිසිඳු අඩිපාරක් දක්නට නොලැබින. ඒ නිසාවෙන්ම කඳු පන්තියේ ආනතිය අසලින්ම අපි ගමනෙහි යෙදුනේ වනාන්තරය මධ්‍යයෙන් ගමන් කිරිමෙන් මංමුලා වීමට බොහෝ ඉඩකඩ තිබූ බැවිනි. කඳු පන්තියේ ඉහල ප්‍රදේශයේ අප ගමන් ගත් බැවින් රූස්ස ගස්වලට වඩා යටිවගාව ඉතා ඝනව වැඩි තිබුනි. එය තනිකරම බටකෑලැවකි අපගේ ගමන් වේගය තරමක් මන්දගාමි වූයේ බටගාල් කඩා බිඳගෙන ඉදිරියට යෑමට සීදුවීම නිසාය. ඇතැම් විට දනගාමින් ගමන් කිරිමට සිදුවිනි.

පස්වෙනි කඳුමුදුන පසුකරමින් අප කඳු පන්තියේ උසම මුදුන වූ උඩලක්ෂපාන ගල වටා ගමන්කරමින් සිටියෙමු, සයවන සහ හත්වන කඳුමුදුන් අතරවු ඒම පෙදෙස විශාල අලි මංකඩකින් යුක්තවිය, එසේම වනස්පතිය එක් අන්තයක් දෙහිඔවිට බස්නාගල නූරිය ප්‍රදේශය දිශාගතව පැතීරියයි, මා පෙරකියූ අලි පාරද කන්ද වටා බස්නාගල දිසාගතව විහිදී තිබුනි.


එසේම කඳුවැටියෙහි අපට දැකගතහැකිවූ එකම දියපහර සමුවූයේද හයවන සහ හත්වන මුදුන් අතර මේ ප්‍රදේශයෙදීය. ඉතා කුඩා දියපහරක් වු නමුත් මෙතෙක් හිස්ව තිබූ අපගේ වතුර බොහොතල් කිහිපයක්ම යලි පුරවාගැනිමට අපට හැකිවිය. දියකඳුර වටාපිටාවෙහි බොහෝ අලි බෙටි දක්නට ලැබිමෙන් ඔවුන්ද එම කඳුරෙහි නිතර ගැවසෙන්නන් බව අපට පසක්විය.


1:50000 සිතියමට අනුව දියකඳුරු කිහිපයක් දක්නට ලැබුනද ඒවා කඳු පංතියෙහි මුදුනේසිට මිටර 100ත් 200 අතර බෑවුම්ගතව පටන්ගෙන ගලා යන බැව් අපට පසක් විය.  කඳු මුදුන් ඔස්සේ ගමන්කරන විට හමුවන එකම දියකඳුර  හයවන කඳුමුදුන පසුකර හත්වන මුදුන පටන්ගන්නා ඉසව්වේදී දැකගත හැක. නමුත් දින දෙකක් ගතකිරීමට අවශ්‍ය පමන වතුර අප අනිවාර්‍යෙන්ම රැගෙන යායුතුමය.


දියකඳුර පසුකර අවසන් කන්දෙහි නැග්මක යෙදුන අප ගල්තලාවකට සේන්දුවිය වේලාව පෙරවරු 10 පසුවූවා පමනි එක්වරම ඝනමීදුමකින් හාත්පසවෙලීගත්තේය. ටිකවෙලාවක් අප ගල්තලාවේහි රැදුනි, මන්ද මීදුමත් සමග ගමන මහත් අවදානම් බැවිනි. ගල්තලාව අවට අලි බෙටි මෙන්ම ගෝනන්ගේ වසුරුද දැකගතහැකිවිය. ගෝනන් ගැවසෙන බවට ලැබුනු මුල්ම සඥාවයි ඒ.




මීදුම පහවයත්ම අප නැවත අවසන් කඳු මුදුන කරා වේගවත් ගමනක යෙදුනෙමු. බට පඳුරු වඩා ඝනව වැවීතිබුනේ ඉදිරියෙන් එන කිසිවකුත් නොපෙනෙන අයුරිනි. බොහෝ විට බටපඳුරු පීරාන වඩා බිමට නැඹුරුව ගමන් කිරිමට සිදුවිය. මං මෙත පාදාගැනිමට අප ගෙනැවිත් තිබු වක් පිහිය බොහෝ උපකාරිවිය.
පෙරදිනට කලියෙන් වරුසාව පතිතවීමේ ලකුනු අහස්කුස පුරා දක්නට ලැබුන අතර කඳුකර කැලැව වඩාත් තෙත්ගතියෙන් යුක්තවිය, ඒනිසාම කුඩැල්ලන් සමග නිරන්තර අරගලයක යෙදි හෙම්බත්වි සිටි අප අවසන උන් අපේම ශරීරකොටසක් යැයි සිත්සනසා ගත්තෙමු.  නමුත් විශේෂත්වය වන්නේ අප හොඳින් දෙපා ආවර්ණයකොටගෙන තිබූවත් බට අකුල් සමග පොරබැදිමෙන් උන් අපගේ සිරුරපුරා එල්ලි සිටිමයි, බොහෝ විට ඉනවටා කුඩලු පොකුරු සිත්සේ ලේ බීමෙහි නිරතවිය.

 කුඩැල්ලන් මතතකයත් සමක අපගේ එක් ගමන් සගයකු පැවසුවක් සිතට නැගේ


" මුං ඔක්කොම එක්ක මුහුදට පනින්න හිතෙනවා " නොසන්සුන් සිතිවිලි අතර  ඉබේම මුවින් පිටවු ඒවදන් අප කාගෙත් මුවගට සිනාකැන්දුවේය.



දහවල මැද අප අවසන් කඳු මුදුන පසුකලේමු. කෙමෙන් කෙමෙන් බැස්ම ත්‍රිවූර කෙරෙමින් ඝන යටි රෝපනයද අවම මට්ටමකට පත්ව තිබුනි. නමුත් තන්හි තන්හි තරම උසින් යුත් බට පඳුරු දැකගත හැකිවිය. පස්වරු 2ක පමන වෙත්ම සිරිපොද වැස්ස ඇදහැලීමට පටන්ගෙන ක්‍රමයෙන් තරමක් වර්ධනයවිය, අප කෙමෙන් තෙත්බරිවු අතර කෙසේ හෝ වනාන්තරයෙන් පිටතට පැමිනීම එකම අභිලාෂය වූයෙන් නොනැවති ඉදිරියටම ගියෙමු.






බැස්ම දැඩි ආනතියකින් යුක්ත වු අතර පහලට බැසීම ඉතා සීරුවෙන් කලයුතුවිය, තරමක දියපහරක් පහලට ගලායෑමෙන් සැදුන මංකඩක් ඔස්සේ අප පහල බැසීමුඇතැම්විට ආධාරකයන් ලෙසට බට පඳුරු උපකාරීවිය, එකා පසුපස එකා තරමක දුර ප්‍රමානයක් පවතින ලෙසට බැසීම සිදුකල යුතුවිය, කිමද යත් සමහර ගල් කැබලි අඩමානයට තිබූ අතර, ලිස්සා ගොස් පහලින් ගමන්කල පුද්ගලයාට අනතුරක් සිදුවීමට වඩා ඉඩකඩක් පැවති නි. කෙමෙන් පහලට බැසීම ඉතා මන්දගාමිවු අතර මිටර300ක පමන බැස්මකින් පසු බැවූම ප්‍රපාතාකාරි වූ බැවින් කන්ද හරහා ගමක් කර ගස්වැල් ආධාරයෙන් අවධානම අවමවන ලෙසට පහලට ඒමට සිදුවිය.

සවස 5හ පමන වනවිට කඳුවැටිය අන්තයේහි ගලාහිය කැලණි ගඟ වෙත පැමිනිමට අපට හැකිවිය. අනේක් ඉවුරින් නැවත කඳුවැටිය පටන්ගත් අතර ඒ සමනොල අඩවිය කරා පැතිරයන්නක් විය, අපගේ ගමන් මග දිසාගතවූයේ ගඟ පහලට බැවින් ගල් උඩින් පනිමින් ගඟ ඔස්සේ පහලට ගමන්කලෙමු. වැස්සත් අඳුරත් තෙහෙට්ටුවත් අතර නොසන්සුන් සිතිවිලි සමග පොරබදිමින් අප පහලටම පැමිනියෙමු.  ගඟ පටන්ගැන්මේ මුල් ප්‍රදේශය බැවින්  දෝ කුඩා කුඩා දියඇලි කිහිපයක් තරණය කිරිමට අපට සිදුවිය. ගමන නිමාකිරිමට තිබු දැඩි අවශ්‍යතාව නිසාමදෝ අප එම කුඩා ඇලි වලින් බැස්සා නොව පැනදිව්වාක් යැයි කීම අතිශොක්තියක් නොවේ. ඒ අතර පය ලෙස්සා වැටුන අවස්තාද ඔනෑතරම්ය. මීටර 700ක් පමන පහල බැසිමෙදි තේවතුයායට පිවිසිමට අපට හැකිවිය. ඒ ඔස්සේ තේ ෆැක්ටරිය තිබු පෙදෙසට අප පැමිනෙන විට සවස 6 පසුව තිබුනි. මනුස්ස වාසයට පැමිනිමත් සමග මහත්වූ සැහැල්ලුවකින් සිතගත වෙලාගත් බවක් අපට දැනුනි.



අපගේ වම් අන්තයෙන්, අප තරණයකල සප්තකන්‍යවියන් මිහිදුම්සේල මතින් සැරසි අහස්කුස අරා නොසැලිසිටි. ඒ දෙස බැලෙත්ම කෙතරම් කෙඩෙත්තු සිරුරක් තිබුනද සිත මහා ප්‍රිතියකින් වෙලි අමන්දානයට පත්වන්නේ අපගේ අරමුන සාක්ෂාත් කරගැනිමට හැකිවුබැවිනි. නොපෙනෙන ශක්තීන්ට පින්සිදුවන්නට සහ කන්ඩායමේ මහත්වු එකමුතුකමින් කිසිදු අන්තරාවකින් තොරව වනයෙන් පිටතට පැමිනිමට අපට හැකිවිය. කොත්තැලනින් නැගීම පටන්ගත් අප මස්කෙලිය ප්‍රදේශයෙන් ගමන අවසන් කලේමු. අද රාත්‍රිය ලක්ෂපාන අපගේ ගමන් සගයාගේ නිවස්නයේහි රැදී පසුදා අළුයම නිවෙස්බලා යැමේ සොඳුරු සිතිවිල්ලෙන් රාත්‍රි අඳුරහා මුසුවීමු.