Tuesday, April 1, 2014

සුදු හැඳි තරුණයා..........



සීතල හිමිදිරි උදැසන මිදුම අතරින් නොපැහැදිලි මාවත දිගේ ඔහු ඇවිදයයි. අප සැමට ඔහු නොපෙනුනත් පෙනෙන අතලොස්සට ඔහුගෙන් හිරිහැරයක් නොමැත. තම සංසාරගත පුරුදු ක්‍රියාකාරකම්හි අජීවි ඔහු අදටත් යෙදෙන්නේ මිනිස්වෙස් ගත් පාපතරයන් විසින් අතරමග නවතාදැමු  තම ජීවන ගමන නැවතුන අයුරු ඔහුටද වටහාගත නොහැකි බැවින්දොයි විටෙක මට සිතේ.

1988 භීෂණය රටවටා සීග්‍රයෙන් පැතිරෙමින් අප කතා නායක විසූ අරංගල අතුරුගිරිය ඔරුවල ප්‍රදේශද තදින් තම ග්‍රහනයට නතුකරගන තිබින.   තමන් රාජකාරි කල කර්මාන්ත ශාලාවෙහි තරුණ කොයිකා අතරත් ජනප්‍රිය චරිතයක් වූ ඔහු දවසේ තම රාජකාරියට පලමු උදැසන ශාරිරික අභ්‍යසයන්හිද, සැඳැ සමයේ තම සෙවක මිතුරන් සමග පාපන්දු ක්‍රිඩාවේ ද නියැලින. හේ පාපන්දු ක්‍රිඩාවේ කෙලපැමිනියෙකි. අතුරුගිරිය නගරාසන්න ආයතනික ක්‍රිඩා පිටියක් වුවද එකල ජනප්‍රිය පාපන්දු ක්‍රිඩා සමාජයක් ඒවටා බිහිව පැවතියේය.

ජවීපයට මුවාවෙමින් එකල රටකල ඇත්තන් තරුණයන් බිලිබෑම වඩ වඩාත් ත්‍රීවුරකරමින් පැවති සමයක් වුවද අප කතානායක සහ ඔහුගේ මිතුරු කැල තම ක්‍රිඩා දිවියට දොරගුලු දැමිමට අකමැත්තවුන් හෙයින්ම බිම්කලුවර වැටෙනතෙක් ක්‍රිඩාපිටියෙහි ගතකලෝය.

තවත් දිනයක් සුපුරුදු ලෙස ගෙවි දවසේ සැඳැසමය ගතවෙමින් පැවති මොහොතකි. අප කතානායක සුපුරුදු මිතුරන්ගෙන් වෙන්වි සෙමින් නිවෙස්නය කරා ගමන්කලේ ලඟ ලඟම ඉව අල්ලන මාරයා ගැන කිසිත් නොදැනය .  අඳුරේ පැමිනි වෙඩිඋන්ඩයන් පිට පිටම තරුණ සිරුර විනිවිද යෑමට ගතවුයේ එක් නිමෙෂයක් පමනි. මොහොතකට ප්‍රථම ජවාධික සිරුරක් හෙබි තරුණයා උනු රුධිර ධාර වැහේමින්  පරඬැල් කඳක් මෙන් මහපොළව සිපගත්තේය.

ලේ රහට වහවැටි බළලුන් තොලකට ලෙවකා පැනදිව්වොය. උදේහවා තමන් සමග එකට සිටි මිතුරාගේ අකල් වියෝවෙන් කම්පිතවුද, කොපාග්ගින්නෙන් බුරබුරා නැගි තරුණ කැල තම මිතුරාට ලෙහෙසියෙන් සමුදුන්නේ නැත. පොලිසීය නගර පීරායමින් මියගිය තරුණයාගේ සිරුර සෙවීමට වෙහෙසින. වැඩපොලේහි තම මිතුරාගේ සිරුර සඟවා තැබු තරුණයින් අවමංගල්‍ය පෙරහරින් නගරය පුරා විදිසංචාරය කරමින්, ඉමහත් ගෞරවාදරයෙන් යුක්තව තම හිතවතාගේ සිරුර මිහිදන්කරනු ලැබුවෝය.

භීෂනයට පිංසිදුවන්නට පොලීසියද තම වාඩුව පියවාගත්තේ බුරුතු පිටින් තරුණයන් අතඩංගුවට ගනිමිනි. ඔවුන්ටම සරිලන ලෙසට හමුදා කඳවුරක් අතුරුගිරිය නගරයේ ස්ථාපනය කොට පැවතීයෙන් තරුණයින් කිහිප දෙනකු හැර අනෙකුන්ට ගඩොල් පොරනු තුල සැතපෙන්නට සිදුවිය.

කාලයත් සමග දේශපාලනික මෙන්ම සමාජීය සිතුම් පැතුම් වලද වෙනස්වීම් ඇතිවිය. අතීතයේ බොහෝ සිදුවීම කාලයත් සමග වැලලී හමාරය. නමුත් අහඹුලෙස ඇතැම් සිදුවීම මතුව නැතීවියැම ඇතැම්විට සිදුවේ. එසේම කාලයත් සමක වැලලීනොයන තවත් බොහෝදේ පවති.  ධවල වර්ණයෙන් හැඩවූ ක්‍රිඩා ඇඳුමෙන් සැරසුන තරුණයා හිමිදිරි උදැසන මිහිදුම් අතරින් පෙනි නොපෙනි යන්නේ එබැවින්දෝයි මට සිතේ.