Tuesday, July 30, 2013

බෝම්බ හඬක් සහ තුන් වසරක්.....



දෙදහස් හතේ නොවැම්බරයේ එක්තරා උදැසනක මා සුපුරුදු ලෙසට රාජකාරියට වාර්ථාකලෙමි. බොහෝ උදයන්හි සහ සැන්දැකාලය නුගේගොඩ නගරය තරමක් කලබලකාරිය. අදමෙන් ගුවන් පාලමක් නොතිබූ එකල, කොහුවල දෙසටත් සුපර්මාකට්ටුව දෙසටත් තරමක වාහන තදබදයක් දක්නට ලැබේ.

සුපුරුදු ලෙසට උදෑසන මෙන් දහවලද සාමාන්‍යය අන්දමින් ගෙවිගියෙන් සන්ද්‍යභාගය උදාවිය. එකල මාගේ සේවාස්ථානය ගනුදෙනුකරුවන් සඳහා සවස 7 පමන වන තුරු විවෘතව තැබීය. නමුත් උදැසන සේවාමුරය අවසන්වන පිරිස් සවස 4.45 සහ 5.30 අතරතුර පිටවයයි. කාර්‍යාල සහයක අකිල සහ ගයාන්ද එලෙස පිටවගියවුන් අතර විය.

සැලකියයුතු වේලාවක් ගතවිය භීතියෙන් මුසපත්වු අකිල නැවතත් ආපිට පැමිනීයේය. වනවිටත් ඔහුගේ වතේහි දිස්වූයේ අඳුරු ස්වරුපයකි.... ඔහු පැවසූ අන්දමට ගයාන් අවාසනාවන්ත තත්වයකට මුහුන පා ඇත, රුදුරු ත්‍රස්තවාදයේ කුරිරු හස්තයෙන් නුගේගොඩ නගරය මොහොතකට වෙලාගන අවසන්ය. අප සේවාස්ථානය මහා මාර්ගයෙන් තරමක් ඇතුලට වන්නට පිහිටියෙන් මාර්ගයේ ඝොෂාකාරිත්වය එතරම් නැසේ .නෝලිමිට් ගොඩනැගිල්ල අසල බොම්බයක් පිපිරි මිනිස් ජීවිත නිරපරාදේ බිලිගෙන හමාරය.

මහත්තයෝ, මම BOC එක ගාවින් මහරගම පැත්තට ඇවිදගෙන ගියා....ගයාන් නෝලිමිට් එක පැත්තට පාර පැන්නා...ටිකකින් ලොකු සද්දයක් ඇහුනා බලනකොට හැම තැනම දුම්.....

ඉතින්...

" ගයාන් එක්ක පාර පැනපු ඉස්කොලේ ගැනු ලමයෙක් හිටියා අම්මෝ එයාගේ කැලී විතරයි සර්..."

එතකොට ගයාන්….”

" ගයානුත් ඒ එක්කමයි පාර පැන්නේ..ගයාන් හොයාගන්ඩ බැරි උනා සර්...."

සැනින් සේවාමුරය අවසන් අප කිහිප දෙනකුම සිද්දිය සිදුවු ස්ථානය දෙසට පිටත්විමු. වනවිටත් අධික වාහන තදබදයක් නුගේගොඩ අවට පැවතිනි. වහා ක්‍රියාත්මක වී තිබු පොලිසිය සහ හමුදාව නුගේගොඩ මංසන්දිය බෝ ගස අවට ප්‍රදේශය සාමාන්‍ය වැසියනට තහනම් කලාපයක් කර තිබිනි. බොහෝ ක්‍රියාදාම චිත්‍රපට යන්හි දක්නට ලැබෙන කහපාට අනතුරු ඇඟවිමේ පටි වලින් එම ප්‍රදේශය ආවරනය කොට තිබින. කොහුවල මංසඳිය වෙත අප ගමන් කලයුතු වූයේ විකල්ප මාර්ගයක් වු සක්‍යා අද්‍යන ආයතනය පිහිටි මග ඔස්සේය.

අපේ වේලාවට ගයාන්ගේ, දුරකතන අංකය අප නොදැනසිටි අතර ඔහු හොරන ප්‍රදේශයේ වෙසෙන්නෙකු බව පමනක් දැන සිටියත් වැඩිතොරතුරක් දැනගතහැකි අන් මගක් නොවීය. නමුත් යම් තොරතුරක් දැන ගැන්මේ අටියෙන් අප කලුබොවිල රෝහල වෙත පැමිනියෙමු. එතැන එකම මිනිස් හිස් ගොඩකි රෝහලේ ප්‍රධාන දොරටුව වසා තිබු අතර කොතෙක් උත්සහ ගත්තද අප කිසිවකුට රෝහල තුලට ඇතුල්විමට අවසර නොවීය.

පසුදා පහන් උවත් කිසිඳු තොරතුරක් නොමැති හෙයින් කලමණාකරු අමතා උදැසනම නැවත රෝහලට ගියෙමු.එවර කිසිඳු අවහිරයකින් තොරව රෝහල තුලට පිවිසිමට අපට හැකිවිය. වාට්ටු කිහිපයකම සොදිසිකලද කිසිඳු හොඩුවාවක් නොමැති කල අකමැත්තෙන් වුව රෝහල් මොචරිය වෙතට පිවිසීමු.
මොචරිය ඉදිරිපස කුටියෙහි රෝහල් සෙවකයකු නාම ලේඛනයක් අතැතිව සිටි. මුලින්ම අප එම නාම ලේඛනය බැලිය යුතුවිය. නොසන්සුන් සිතින් එම ලේඛනය කියවීමු. ගයාන්ගේ පෙලපත් නාමය ෆොන්සේකා යන්න අප දැන සිටියෙමු. මුලකුරු සමගින් ෆොන්සේකලා දෙදෙනකු නාම ලෙඛනයේ සටහන්ව තිබුනි.

තව තවත් ව්‍යකූල සිතැත්තවුන් වූ අප බියමුසු සැකයෙන් මොචරිය අභ්‍යන්තරයට පිවිසුනෙමු. ඒ කිසිදා කිසිවකු නොලැබිය යුතු අද්දැකුමකි. අවාසානාවන්ත ලෙස මියගිය බොහෝ පිරිස් අතිශ්‍ය විරූපි ස්වරුපයෙන් ඒ තුල තැන්පත් කර තිබින. ඇතැම් සිරුරු පිළිස්සි හඳුනාගත නොහැකි තත්වයෙන් පැවතින. රෝහල් සේවකයා අතැවු ලේඛනයෙහි සඳහන් එක් ෆොන්සේකා කෙනෙකු ස්ත්‍රියක වූ අතර, අනෙක් සිරුර අපට හඳුනාගත නොහැකි වූයෙන් ව්‍යවුල් සිතැත්තවුන් වූ අප නැවත කාර්‍යලයට පැමිනීමු.

කලුබොවිල දෙස සිට නුගේගොඩ නගරය හරහා යනෙන බස් රථ නුගේගොඩ මංසඳිය පසුකරන්නේ ඉබිගමනෙනි. නමුත් ඇතිවූ තත්වයත් සමගින් සතිදෙකක පමණ කාලයක් යනතුරු මෙම කලාපය පසුකිරිමට බස් රියදුරන්ට මෙන්ම කොන්දොස්තර මහතුන්ට තිබුනේ පුදුම නොයිවසිල්ලකි. බොහෝ අවස්තාවල මඟීන් අතැර දමා ගිය දසුන්ද සුළබය.

අපගේ නැවත පැමිනිමත් සමග කාර්‍යලයේ අනෙක් සේවක මිතුරන් එතෙක් හිරකරගන තිබු දහසකුත් ප්‍රෂ්ණ අපවෙත ගෙනහැර පෑවද, පැවසීමට තරම් විශේෂ තොරතුරක් අප වෙතද නොවීය. ගනුදෙනුකරුවන්ද ස්වල්පයක්  පමණක් දැකිය හැකිවු එදින සේවක අප සැම උකටලීව කල්ගතකලෙමු.

අවසන ඒ දුරකථන ඇමතුම ලැබින.....අප සැමගේ සිත් සැහැල්ලු කරමින් ගයාන් ජිවතුන් අතර යන ආරංචිය කලමණාකරු විසින් අපවෙත ගෙනෙන ලදි.

සිදුවීම මෙසේය

යහලුවන් දෙදෙනා එක මගක ගොස් ලංකා බැංකුව අසලින් වෙන්විය. ගයාන් සමගින් පාසැල් සිසුවිය සමාන්තරව පාර හරහා අනේක් අන්තයට ගොස් ඇති නමුත්, සිසුවිය පදික වේදිකාව ඔස්සේ නොලිමිට් ගොඩනැගිල්ල දෙසට ගමන්කර තිබිනි, නමුත් ගයාන් පදික වෙදිකාව මග හැර මහා මාර්ගය ඔස්සේ කොහුවල දෙසට ගමන්කර තිබින. සාමාන්‍යයෙන් ගයාන්ගේ පාගමන තරමක් වේගවත්ය. බොම්බය පිපිරෙන අවස්ථාවේ ගයාන් කොහුවල සීමෙඩ් පෞද්ගලික රොහල සමීපයට පැමින ඇත. තමාට පිටුපසින් ඇතිවු විශාල ශබ්දය හේතුවෙන් තැතිගත් ඔහු පිම්මේ ඇවිද බසයක නැගී නගරයෙන් පිටවගොස් ඇත. නමුත් පාසැල් දැරිය සෙනග අතරින් ගමන් කිරිමෙදි අවාසනාවන්ත ඉරනමකට ගොදුරු විය.

සිදුවිමෙන් පසු කිහිපදිනක් යනතුරුම නුගේගොඩ මංසන්ඳිය තරමක පාළු ස්වරූපයක් ඉසිලීය.නෝලිමිටි ගොඩනැගිල්ල සහ අවට දැවී පිළිස්සී ගරා වැටුන ගොඩනැගිලි මහත් අඳුරු ස්භාවයක් ගත් අතර අවට පිළිකුල් දුඟදක් හැමීය..කිසියම් ගුප්ත බවකින් වෙලාගත් සෙයක් ඒ අසලින් සුපුරුදු ලෙස රැකියාවට පියමංකල අපට හැඟිනි.

කාලය ගතවී ගියේය ටිකෙන් ටික සුපුරුදු ජීවනරටාවට නගර වැසියන්ද නගරයද අවතීරණය විය.!!!

පලී. 

ලැටිගාල ලැටිගාලා ඔන්න වසර තුනකුත් අහවර උනා….!!  මේ පැත්තට ඇවිදිල්ලා…… එව්වා මෙව්වා කියෝපු , කොමෙන්ටුවක් කොටාලා දිරිය දුන්නු,  පිටු පෙරලා ගියපු,  බ්ලොගේ හින්දා මිතුරු වෙච්චි,  එකි මේකි නොකි …. හැමෝටම බොහොම ස්තුතී…!!! පුලුවං හැටියකට ඉස්සරහටත් ලැටි ගාන්ඩ තමා ඉතිං කල්පනාව......!


ම්……… සිංහල බ්ලොග් කලාව දිනෙන් දින වෙනස් වෙනව නේව, හරවත් වෙනව රසවත් වෙනව කුනුවෙනව ගඳ ගහනව ආයි සුවඳ හමනව ඔව්ව ඔහොම තමා….  හැබැ ඉස්සරෝම ලියපු සමහර උදවිය නොයෙක් හේතු නිසා කාලෙකින් දකින්නටම නෑ….!  එයාලත් පුලුවං හැටියකට ඔය පුරස්න පැත්තකින් තියලා ඉඳලා හිටල හරි මොනා නමුත් ලැටිගානව නම් හරි අපුරුයි බොලං.....!!!