Wednesday, August 21, 2013

තාම නැද්ද වෙනසක්...?





" මචං කේක් නොදිනම් මාරුවෙන්ඩ බෑ හරී...."

සෙට්වෙචි, සෙට් කොරපු තරුණ ජොඩුවකට කං අගුල් වැටෙනකං ඔය වචනේ නෑ සුනානම් ඔවුන් සුවර් එකටම බිහිරි වියයුතුමය. රැකියාවට ගියත්, නෑ ගෙදරක ගියත්, අරහේ මෙහේ කොහේ ගියත්, ඔය කතාව අහගන්ඩම වෙන්නේය.... ඇහිල්ලේ හැටියට වැඩ සිද්දවි.... කස්ටියටම කෙක් දී .....ලෝන් ගසා හෝ කෙසේ හෝ මගුලක් කන්නේය.

මාස 6ක් උපරිම අවුරුද්දක් ගිය තැන තැටිය වෙනස්වෙන්නේ නිරායාසයෙනි.

" තාම නැද්ද වෙනසක්......"

ඒ යාලුවො හිත මිත්‍රාදී නෑ යන්ය ...

" අපිට පුලුවන් කාලේ ඔව්වා ඉවරයක් කරගත්තනං ලේසි නේ.."

ඒ වෙන්ඩ ආච්චි සියලාගේ හඬයි........

හඩේ සැරටම...

 අලුත බැඳපු ජොඩුව අවුරුද්දක් දෙකක් ගතවූ පසු දෙයියනේ කියා දෙමාපියන් කියන ප්‍රොමොෂන් එක ගහන්නේමය...ඇස්වහක් කටවහක් නැතිය සියලු ලොවැසියන්ට දරුසම්පත අඩුවක් නැතිව ලැබේවායි ලියුම්කරු විසින් ප්‍රාර්ථනා වක්ද කරන්නට මේ අවස්ථාව කරගන්නේය. ප්‍රොමොෂන්  ගැසීම යනු වගකීම් බැලන්ස් කිරීම් අම්බානක සෙට්වෙනවා කියන එකය.

වගකිම් නම් කමකුත් නැතවැඩේ තියෙන්නේ බැලන්ස් කිරිම් වලය. හප්පේ හොක්ක බිම ඇනෙන එව්වා එමටය.

අලුත් දේමාපිය යුවලකගේ මවු පාර්ශවයේ අම්මා තාත්තා වැඩිය ග්‍රහ බලපෑම් පාරම්පරික ක්‍රම විධි පිලිනොගන්නා විට සහ පිය පාර්ශවයේ අම්මා තාත්තා ඊට සාපේෂව මතයන්හි එල්බ සිටීනම් බැලන්ස් කීරිම් ලේසි නැත.

පුතේ පොඩි දරුවගේ නලලේ මොට්ටුවක් තියන්න ඔනා.....

කාමරේ හාෆ්ශීට් කොලේකවත් ගහන්න බාලගිරි දොසේ අද නෙමේ හෙට කියලා ....

අප්පේ දරුවට සෙනසුරු එරාෂ්ඨකේ දැන් ගත වෙන්නේ,  නිල් ගලක් ඔබ්බපු පංචායුධයක් වත් දාන්න වෙයි....

එකි මෙකි නොකි උපදෙස්මාලා කං කුහර තුල දොංකාර දෙනු  නිමක් නැත…!!

කනට ඇසුන එකී සියල්ල අනේක් පාර්ශවයට අමුවෙන්ම අතැර දැමුවොත් කපොතිය. මෙහිදී අනතුරු ඇඟවිය යුතුම  වන්නේ ඔබ ජොකර් කෙනෙකු ලෙසට ප්‍රදර්ශණය වීමට ඇති අවස්තාව 99% සම්භාවිතාවකින් යුක්ත විය හැකි බැවිනි.

"  අපෝ පොට්ටු තියන්න බෑ ඔයාට ඔන්නං තියාගන්න "

" ඊයා කලු නූල් වලින් එහේම පංචායුධ දාන්න එපා..."

ඔය සැර බාලවි අනෙක් පසට ගිය ඇතැම් යොජනා වලට ලැබෙන ප්‍රතිචාරය.

ලක් ජනසමාජයේ කාලයක් තිස්සේ පැවතගෙන ආ ඇවතුම් පැවතුම් බොහෝය. සිරිත්විරිත් විවිධාකාරය.පරපුරෙන් පරපුරට සිතුම් පැතුම්ද අලුත් වෙයි අලුත්වන ජනසමාජය තුල අතීත ගති සිරිත් වියැකි යන අයුරු අරුමයක් නොවේ. නමුත් අතීතය සහ වර්ථමාන අනාගත සමාජයේ සාධනීය වෙනස පුංචි කුටුම්බයකට කෙසේ බලපාන්නේද යන්න සිතා බැලිය යුතුමය.

වෙනස සිදුවිය යුත්තේ කෙසේද නොවෙනස්වීම වඩා සාධනිය ද ..............?

Tuesday, July 30, 2013

බෝම්බ හඬක් සහ තුන් වසරක්.....



දෙදහස් හතේ නොවැම්බරයේ එක්තරා උදැසනක මා සුපුරුදු ලෙසට රාජකාරියට වාර්ථාකලෙමි. බොහෝ උදයන්හි සහ සැන්දැකාලය නුගේගොඩ නගරය තරමක් කලබලකාරිය. අදමෙන් ගුවන් පාලමක් නොතිබූ එකල, කොහුවල දෙසටත් සුපර්මාකට්ටුව දෙසටත් තරමක වාහන තදබදයක් දක්නට ලැබේ.

සුපුරුදු ලෙසට උදෑසන මෙන් දහවලද සාමාන්‍යය අන්දමින් ගෙවිගියෙන් සන්ද්‍යභාගය උදාවිය. එකල මාගේ සේවාස්ථානය ගනුදෙනුකරුවන් සඳහා සවස 7 පමන වන තුරු විවෘතව තැබීය. නමුත් උදැසන සේවාමුරය අවසන්වන පිරිස් සවස 4.45 සහ 5.30 අතරතුර පිටවයයි. කාර්‍යාල සහයක අකිල සහ ගයාන්ද එලෙස පිටවගියවුන් අතර විය.

සැලකියයුතු වේලාවක් ගතවිය භීතියෙන් මුසපත්වු අකිල නැවතත් ආපිට පැමිනීයේය. වනවිටත් ඔහුගේ වතේහි දිස්වූයේ අඳුරු ස්වරුපයකි.... ඔහු පැවසූ අන්දමට ගයාන් අවාසනාවන්ත තත්වයකට මුහුන පා ඇත, රුදුරු ත්‍රස්තවාදයේ කුරිරු හස්තයෙන් නුගේගොඩ නගරය මොහොතකට වෙලාගන අවසන්ය. අප සේවාස්ථානය මහා මාර්ගයෙන් තරමක් ඇතුලට වන්නට පිහිටියෙන් මාර්ගයේ ඝොෂාකාරිත්වය එතරම් නැසේ .නෝලිමිට් ගොඩනැගිල්ල අසල බොම්බයක් පිපිරි මිනිස් ජීවිත නිරපරාදේ බිලිගෙන හමාරය.

මහත්තයෝ, මම BOC එක ගාවින් මහරගම පැත්තට ඇවිදගෙන ගියා....ගයාන් නෝලිමිට් එක පැත්තට පාර පැන්නා...ටිකකින් ලොකු සද්දයක් ඇහුනා බලනකොට හැම තැනම දුම්.....

ඉතින්...

" ගයාන් එක්ක පාර පැනපු ඉස්කොලේ ගැනු ලමයෙක් හිටියා අම්මෝ එයාගේ කැලී විතරයි සර්..."

එතකොට ගයාන්….”

" ගයානුත් ඒ එක්කමයි පාර පැන්නේ..ගයාන් හොයාගන්ඩ බැරි උනා සර්...."

සැනින් සේවාමුරය අවසන් අප කිහිප දෙනකුම සිද්දිය සිදුවු ස්ථානය දෙසට පිටත්විමු. වනවිටත් අධික වාහන තදබදයක් නුගේගොඩ අවට පැවතිනි. වහා ක්‍රියාත්මක වී තිබු පොලිසිය සහ හමුදාව නුගේගොඩ මංසන්දිය බෝ ගස අවට ප්‍රදේශය සාමාන්‍ය වැසියනට තහනම් කලාපයක් කර තිබිනි. බොහෝ ක්‍රියාදාම චිත්‍රපට යන්හි දක්නට ලැබෙන කහපාට අනතුරු ඇඟවිමේ පටි වලින් එම ප්‍රදේශය ආවරනය කොට තිබින. කොහුවල මංසඳිය වෙත අප ගමන් කලයුතු වූයේ විකල්ප මාර්ගයක් වු සක්‍යා අද්‍යන ආයතනය පිහිටි මග ඔස්සේය.

අපේ වේලාවට ගයාන්ගේ, දුරකතන අංකය අප නොදැනසිටි අතර ඔහු හොරන ප්‍රදේශයේ වෙසෙන්නෙකු බව පමනක් දැන සිටියත් වැඩිතොරතුරක් දැනගතහැකි අන් මගක් නොවීය. නමුත් යම් තොරතුරක් දැන ගැන්මේ අටියෙන් අප කලුබොවිල රෝහල වෙත පැමිනියෙමු. එතැන එකම මිනිස් හිස් ගොඩකි රෝහලේ ප්‍රධාන දොරටුව වසා තිබු අතර කොතෙක් උත්සහ ගත්තද අප කිසිවකුට රෝහල තුලට ඇතුල්විමට අවසර නොවීය.

පසුදා පහන් උවත් කිසිඳු තොරතුරක් නොමැති හෙයින් කලමණාකරු අමතා උදැසනම නැවත රෝහලට ගියෙමු.එවර කිසිඳු අවහිරයකින් තොරව රෝහල තුලට පිවිසිමට අපට හැකිවිය. වාට්ටු කිහිපයකම සොදිසිකලද කිසිඳු හොඩුවාවක් නොමැති කල අකමැත්තෙන් වුව රෝහල් මොචරිය වෙතට පිවිසීමු.
මොචරිය ඉදිරිපස කුටියෙහි රෝහල් සෙවකයකු නාම ලේඛනයක් අතැතිව සිටි. මුලින්ම අප එම නාම ලේඛනය බැලිය යුතුවිය. නොසන්සුන් සිතින් එම ලේඛනය කියවීමු. ගයාන්ගේ පෙලපත් නාමය ෆොන්සේකා යන්න අප දැන සිටියෙමු. මුලකුරු සමගින් ෆොන්සේකලා දෙදෙනකු නාම ලෙඛනයේ සටහන්ව තිබුනි.

තව තවත් ව්‍යකූල සිතැත්තවුන් වූ අප බියමුසු සැකයෙන් මොචරිය අභ්‍යන්තරයට පිවිසුනෙමු. ඒ කිසිදා කිසිවකු නොලැබිය යුතු අද්දැකුමකි. අවාසානාවන්ත ලෙස මියගිය බොහෝ පිරිස් අතිශ්‍ය විරූපි ස්වරුපයෙන් ඒ තුල තැන්පත් කර තිබින. ඇතැම් සිරුරු පිළිස්සි හඳුනාගත නොහැකි තත්වයෙන් පැවතින. රෝහල් සේවකයා අතැවු ලේඛනයෙහි සඳහන් එක් ෆොන්සේකා කෙනෙකු ස්ත්‍රියක වූ අතර, අනෙක් සිරුර අපට හඳුනාගත නොහැකි වූයෙන් ව්‍යවුල් සිතැත්තවුන් වූ අප නැවත කාර්‍යලයට පැමිනීමු.

කලුබොවිල දෙස සිට නුගේගොඩ නගරය හරහා යනෙන බස් රථ නුගේගොඩ මංසඳිය පසුකරන්නේ ඉබිගමනෙනි. නමුත් ඇතිවූ තත්වයත් සමගින් සතිදෙකක පමණ කාලයක් යනතුරු මෙම කලාපය පසුකිරිමට බස් රියදුරන්ට මෙන්ම කොන්දොස්තර මහතුන්ට තිබුනේ පුදුම නොයිවසිල්ලකි. බොහෝ අවස්තාවල මඟීන් අතැර දමා ගිය දසුන්ද සුළබය.

අපගේ නැවත පැමිනිමත් සමග කාර්‍යලයේ අනෙක් සේවක මිතුරන් එතෙක් හිරකරගන තිබු දහසකුත් ප්‍රෂ්ණ අපවෙත ගෙනහැර පෑවද, පැවසීමට තරම් විශේෂ තොරතුරක් අප වෙතද නොවීය. ගනුදෙනුකරුවන්ද ස්වල්පයක්  පමණක් දැකිය හැකිවු එදින සේවක අප සැම උකටලීව කල්ගතකලෙමු.

අවසන ඒ දුරකථන ඇමතුම ලැබින.....අප සැමගේ සිත් සැහැල්ලු කරමින් ගයාන් ජිවතුන් අතර යන ආරංචිය කලමණාකරු විසින් අපවෙත ගෙනෙන ලදි.

සිදුවීම මෙසේය

යහලුවන් දෙදෙනා එක මගක ගොස් ලංකා බැංකුව අසලින් වෙන්විය. ගයාන් සමගින් පාසැල් සිසුවිය සමාන්තරව පාර හරහා අනේක් අන්තයට ගොස් ඇති නමුත්, සිසුවිය පදික වේදිකාව ඔස්සේ නොලිමිට් ගොඩනැගිල්ල දෙසට ගමන්කර තිබිනි, නමුත් ගයාන් පදික වෙදිකාව මග හැර මහා මාර්ගය ඔස්සේ කොහුවල දෙසට ගමන්කර තිබින. සාමාන්‍යයෙන් ගයාන්ගේ පාගමන තරමක් වේගවත්ය. බොම්බය පිපිරෙන අවස්ථාවේ ගයාන් කොහුවල සීමෙඩ් පෞද්ගලික රොහල සමීපයට පැමින ඇත. තමාට පිටුපසින් ඇතිවු විශාල ශබ්දය හේතුවෙන් තැතිගත් ඔහු පිම්මේ ඇවිද බසයක නැගී නගරයෙන් පිටවගොස් ඇත. නමුත් පාසැල් දැරිය සෙනග අතරින් ගමන් කිරිමෙදි අවාසනාවන්ත ඉරනමකට ගොදුරු විය.

සිදුවිමෙන් පසු කිහිපදිනක් යනතුරුම නුගේගොඩ මංසන්ඳිය තරමක පාළු ස්වරූපයක් ඉසිලීය.නෝලිමිටි ගොඩනැගිල්ල සහ අවට දැවී පිළිස්සී ගරා වැටුන ගොඩනැගිලි මහත් අඳුරු ස්භාවයක් ගත් අතර අවට පිළිකුල් දුඟදක් හැමීය..කිසියම් ගුප්ත බවකින් වෙලාගත් සෙයක් ඒ අසලින් සුපුරුදු ලෙස රැකියාවට පියමංකල අපට හැඟිනි.

කාලය ගතවී ගියේය ටිකෙන් ටික සුපුරුදු ජීවනරටාවට නගර වැසියන්ද නගරයද අවතීරණය විය.!!!

පලී. 

ලැටිගාල ලැටිගාලා ඔන්න වසර තුනකුත් අහවර උනා….!!  මේ පැත්තට ඇවිදිල්ලා…… එව්වා මෙව්වා කියෝපු , කොමෙන්ටුවක් කොටාලා දිරිය දුන්නු,  පිටු පෙරලා ගියපු,  බ්ලොගේ හින්දා මිතුරු වෙච්චි,  එකි මේකි නොකි …. හැමෝටම බොහොම ස්තුතී…!!! පුලුවං හැටියකට ඉස්සරහටත් ලැටි ගාන්ඩ තමා ඉතිං කල්පනාව......!


ම්……… සිංහල බ්ලොග් කලාව දිනෙන් දින වෙනස් වෙනව නේව, හරවත් වෙනව රසවත් වෙනව කුනුවෙනව ගඳ ගහනව ආයි සුවඳ හමනව ඔව්ව ඔහොම තමා….  හැබැ ඉස්සරෝම ලියපු සමහර උදවිය නොයෙක් හේතු නිසා කාලෙකින් දකින්නටම නෑ….!  එයාලත් පුලුවං හැටියකට ඔය පුරස්න පැත්තකින් තියලා ඉඳලා හිටල හරි මොනා නමුත් ලැටිගානව නම් හරි අපුරුයි බොලං.....!!!


Thursday, June 6, 2013

එනකං....!!!




බොරපාට වලාකුලු

මන්දාරම් වැස්සත් අරගන

ඈත රබර් යායට උඩින්

පියාඹලා එන අස්සේ

පරණ අම්බලම ලඟ

උඹ තාම තනියම................

කෑදරකමට

ලාටුගාපු

තණ අගිසිවල

වෑස්සෙන වැහි බිංදු

හරියට උඹේ

දෙනෙතින් වැටෙන

කඳුළු කැට වගේ

දැන් ඉතින්

ඉවසපන්......................

තාත්තලව දක්කන්

හේතුහාමි

එනකං....!!!

Monday, May 13, 2013

නගර බබාලා....




අතීතයේ සිටි ගම්මුලාදැනි                                                       රාළලා
මඩට රජ උනේ වෙල්විදානේ                                                 රාළලා
පහු වෙනකොටැ ග්‍රාම සෙවක                                                 රාළලා
දැන් හයි කාරයෝ නගරාධිපති                                               රාළලා

වසර කිහිපයට සැරයක් ගම් තුලානේ                                    ඇවිදිනා
ගෙයින් ගෙට ගොසින් නැළවිලි ගී                                          කියනා
ගෝල බාලයින් සැම තැන ගුන                                               ගයනා
ඌගේ පැතුම ගම පුබුදා ගොඩ                                               නැගුමා

සංවර්ධනේ මුල් කොට ගෙන දස අත වර්ධනේ                     වෙනවා
අරකට මේකට කියලා එක එක බදු වැඩි                                වෙනවා
නිදි ගැට කැඩු නගර බබා අනෙක් අතට                         පෙරලෙනවා
ගමේ එවුන්ගේ කාලය අකාලයේ දිය                                    වෙනවා

වැඩක් පලක් කරගැන්මට නගර බබා වෙත                             ගියාට
දොළ පිදේනී නැතුව ඉතින් වැඩ කෙරෙන්නේ නෑ               හනිකට
හරි හපනුන් එකේ එවුන් වැරදි සොයා ගතු                          කියන්ට
හාර මාසයක් ගතවෙයි හැබැයි වැඩක්                             කරවගන්ට            

ඉහල ඈයෝ බෙරිහන්දී වේදිකාව මත                                නැටුවට
කොපමණ වෙහෙසක් ගත්තත් රට ජාතිය                       නංවන්නට
සිතුවිලි වල නව වෙනසක් හෙට දිනයේ ඇති                   නොවන්ට
තිස් වසරක් ගියා වගේ රට යයි පස්සෙන්                             පස්සට


Monday, April 22, 2013

කට්ට අව්ව..!!!




බක්මහේ...!
කට්ට අව්වට ...
රත්වෙච්චි..!
මොලකට්ටත්..
ඇදගෙනම...,
මේ සතියේ..!
හොදන්ට..,
හිටපු.
ඩෙනිම් කට්ට....
උස්ස උස්ස..!
යුත් සෙන්ටර් එකේ...
පඩිය උඩ.
බ්ලොග් කාරයෝ...,
එක්ක.
තප්පරයක්..!!
ගෙවුන...,
අපූරුව.




Tuesday, April 9, 2013

රේල් පාර දිගේ පට්ටිපොලින් හපුතලේට.....




අයියේ ඉක්මනට යමු.....මෙතෙක්වෙලා කොට කොටා ආ ප්‍රයිවෙට් බස් රථයෙන් බැස ත්‍රීවීලරයක නැගුන මා රාත්‍රී බදුලු කොච්චිය අල්ලාගැනිමේ අටියෙන් රියදුරා ඇමතුවෙමි. කෙසේ හෝ කොච්චිය පිටත්වීමට විනාඩි 15කට ප්‍රථම කොටුව දුම්රිය ස්ථානයට පිවිසිමට මාහට හැකිවිය.

    මෙවර රේල් හයික් එක යැමට කැමැත්තෙන් සිටි මිතුරන්ගෙන් නොයෙක් හේතුන් නිසා වැඩි අඩු විමෙන් පසු මා සමග 6දෙනෙක් ඉතුරුවිය. මා ස්ටෙෂමට පැමිණෙන විට ඔවුන් සියලුදෙනා පැමින සිටිම මාගේ සොම්නසට හෙතුවිය. 8 පසුවි මිනිත්තු කිහිපයකට පසු අප රැගත් තැපැල් දුම්රිය අඳුර පිරාන සීතල කපාගන බදුල්ල දෙසට හැල්මේ දුවන්නට විය...

  ගීත කිහිපයකින් මද සතුටක් ලැබ තවත් පැය කිහිපයක් කඩින්කඩ නින්දකට පිවිසියෙමු අළුයම 4.30ට පමන පට්ටිපොල දුම්රිය පොළට පැමිනි අප, දුම් රියෙන් බැසගතිමු. හිරු පායනතෙක් අපගේ නැවතුම් පල පට්ටිපොල දුමිරියපලයි.


උදැසන අධික සීතල ගතට යවුලකින් අනින්නාක් මෙනි...පට්ටිපොල දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු සියලූම සෙවක මහතුන්ට අප ස්තුතී වන්තවෙමු. අපගේ ශාරිරික අවශ්‍යතා ඉටුකරගැනිමට සහ විවේක ගැනිමට අවැසි පරිදි දුම්රිය ස්ථානය ඔවුන් මනාව නඩත්තු කර තිබීම ප්‍රශංසනීය කරුණකි.


උදැසන 6.15 පමණ අපගේ චාරිකාව ඇරඹුවෙමු...අතීතයේ පුරුද්දට දෝ සුනඛ පොතකයන් දෙදෙනකුද අපගේ පසුපසින් වැටින. අධික සීතල අතරින් විටක සිල්පරකොටන් උඩින්ද විටෙක රෙල්පාර අද්දරින්ද හොර්ටන් වනස්පතිය අතරින් අප ගමන්කලෙමු.


සැතපුම් 1 1/2ක් පමණ ඉදිරියට ආවිට ලංකීය දුම් රිය මගේ උසම ස්ථානයට ලඟා විමට අපට හැකිවිය. මුහුදු මට්ටමේ සිට අඩි 6226ක උසකින් යුක්ත වු එතැන අප මොහොතක් රැඳුනෙමු. අධික සීතල නිසාමදෝ තෙහෙට්ටුව එතරම් නොදැනේ....නාස්පුඩු කිතිකවමින් නැවුම් වායුදහරා මොලකුහරයට රිංගීමට දරන තැත තරමක ආස්වාදයක් ගෙනදෙයි. උදෑසන පින්නෙන් තෙතබරී වු දුම්රිය මගෙහි ඉදිරියට පියමැනූ අපට ලංකාවේ දිගම බිම්ගෙවල් අතුරින් තුන් වෙනුවට දිගින් වැඩි බිම්ගෙය  දෘෂ්‍යමාන වූයේය.




ජිවිතේ කිසියම්ම දවසක බිම්ගෙයක් තුලින් පාගමනින් ගමන්කර නොතිබූ අප සිත්තුල තරමක චකිතයක් කුහුලක් ඇතිනොවූවායැයි කීවොත් ඒ මුලාවකි. සුළුවෙලාවක් බිම්ගෙය ඉදිරිපස ගතකල අප එය තරනය කිරිමට පටන් ගතිමු. දිගින් මීටර 321ක් පමණ වු ඒහි මධ්‍ය දැඩී අන්දකාරයකින් යුක්තවිය. තරමක දියසීරාවක්ද බිම්ගෙය තුල දක්නට ලැබුන අතර වැහිලිහිනින් විසින් සැදු සහ සාදමින් සිටි කූඩද දක්නට ලැබින. කුඩා විදුලිපන්දම් වල ආධාරයෙන් අප සුරැකිව බිම්ගෙය තරණයකලේමු.


ඔහෝ..... සොබාදහම් මාතාවගේ විෂ්මීය පරිසර පද්දතියක් හරහා අප සපැමින ඇත. දෙශගුනික කලාප දෙකක සංදිස්ථානය මේම බිම්ගෙයයි මෙතෙක් දැඩී සීතලෙන් වෙලි සිටි අප බිම්ගෙය තරණයත් සමගින් තරමක් සිසිල් වියලි දෙශගුනික ප්‍රදේශයකට අවතීරණය විමු. එසේම මේම බිම්ගෙය දිස්ත්‍රික් දෙකකටද මායිම්වේ පට්ටිපොල දෙසින් නුවර එළිය දිස්ත්‍රික්කයටත් ඔහිය දෙසින් බදුල්ල දිස්ත්‍රික්කයටත් බිම්ගෙය මායිම්වී ඇත.


  පෙරවරු 8 පසුවනවිට අපට ඔහිය දුම්රිය ස්ථානයට පැමිනිය හැකිවිය අප එහි පැමිනිමත් සමගම කොළඹ බලා ධාවනය වන දුම්රිය ද එහි පැමිනියෙන් අතරමග අප බලාපොරොත්තුවෙන් සිටි මෙම දුම්රිය එහිදි අපට මුනගැසිනි. ඔහිය වෙත අප ලඟා වීමෙදි බිම්ගෙවල් 4ක් අප පසුකරගෙන ආ අතර විශාල පාලමක්ද ඒ අතර විය  මීට ටිකකලකට ඉහතදී හොටන් රක්ෂීතයේ ඇතිවූ ගින්නේහි නටඹුන්ද තවම ඒහි දක්නට ලැබේ මේ සුන්දර වනස්පතියෙහි ඒ අඳුරු සටහන් සිතට ඇතිකලේ කනස්සල්ලකි.


ඔහිය ස්ටේෂම අද්දරින් මහ එළි තැන්නට ගමන් කලහැකි මාර්ගය වැටි තිබේ. එම මාර්ගය ආරම්භයේ ස්ථාපනය කර තිබු දැන්වීම් පුවරුව මොහොතක් නැවති කියවිමු.පට්ටිපොල සිට සැතපුම් 4 1/2ක පමණ දුරක් පාගමනින් පැමිණි අපට තරමක වෙහෙසක් දැනුණි. ගතට මෙන්ම සිතටද නව ජවයක් ලැබගැන්ම සඳහා ස්ටේෂම ඉදිරියෙහි තිබූ තේ කඩයට ගොඩවී ප්ලෙන්ටියකින් සන්තර්පනයවී ගමන්වෙහෙස මදකට යටපත් කරත්තෙමු.


ගතකල මඳ විවෙක කාලයෙන් පසු නව ජවයකින් නැවතත් ගමන ඇරඹීමු. ඉදිරියෙදි බිම්ගෙවල් 14ක් සමගින් කුඩා පාලම් කිහිපයක්ම තරණය කිරිමට තිබේ. ඔහියෙහි සිට ඉදල්ස්හින්න කරා අප ආ දුම්රිය මග දෙපස වන ලැහැබ ඝනව වැවී තිබින. අතීතයේ කඳු වැටි කැපීමෙන් ඒ හරහා වැටි තිබුන දුම්රිය මග බොහෝ අවස්තාවලදි පටු විවරයන් තුලින් ගමන්ගති.



 ඉදල්ගස්හින්න දුම්රිය පොළ වෙත සැතපුමකින් පමණ ලඟාවනවිට වනස්පතිය තරමක් දුරට අපගෙන් දුරස්වී මනරම් තේවතු යායක් දර්ශණය වන්නට විය.


  බොහේ සුන්දර කඩතුරාවන් හමුවේ වැසීගිය අඳුරු කතන්දර මෙන් සුන්දර තේවත්තේහි සැඟවගිය අඳුරු ජීවිත කතාවක්ද තේවතු මැදින් වට දුම්රිය මගේහි ගමන්ගත් අපගේ නෙත්මානයට හසුවිය. 



දුම්රිය මග දිගේ ඉදල්ගස්හින්න වෙත පැමිනි අපට මිහිදුම් සෙලයකින් වැසියමින් තිබු දුම්රිය පොළ මනරම්ව දිස්විනි. උදැසන 10.30 පමන වන විට ඉදල්ගස් හින්න ස්ටෙෂම වෙත පැමිනිමට අපට හැකිවිය.පට්ටිපොල සිට මෙතාක් අප සැතපුම් 10ක පමණ දුරක් පාගමනින් පැමිණ තිබිනි.



උඩරට දුම්රිය මගේහි පිහිටි දුම්රිය පොළ අතුරින් ඉදල්ගස්හින්න තවත් සුන්දර නැවතුමකි. පහළ කොස්ලන්ද සානුවට ඉහලින් පාවන වලාකැටි ඉදල්ගස්හින්න ස්ටෙෂමේ වහල සිපගනිමින් අනෙක් පසට පාවියන අන්දම විඳගැනිමට නම් ඔබ එහි මදක් නැවති සිටිය යුතුමය. එපමණක් නොව දුම්රිය පළ පිටුපසින් මනස්කාන්ත දසුනක් මවමින් කොස්ලන්ද සානුව මෙන්ම උඩවලව ජලාශය ඇස් මායිමෙන් ඔබ්බට විහිදීයයි.    


ඉදල්ගස්හින්න දුම්රිය පළෙහි සිට විඩා නිවාගනිමින් සිටි අප පසුකරමින් බදුල්ල දෙසටත් කොළඹ දෙසටත් දුම් රිය දෙකක් ගමන් ගත්තෙන් ගමන අතරතුර නැවත දුම් රියක් සමුවීමට තවත් බොහෝ වෙලාවක් ඇත. තරමක වෙලාවක් විඩානිවු අප නැවත අපගේ ගමන් ආරම්භකලෙමු.



 ඉදල්ගස්හින්න ස්ටෙෂම පසුකර මඳ දුරක් පැමිනෙත්ම හපුතලේ දක්වා ඇති දුම් රිය මගේහි අවසන් බිම්ගෙය  පසුකලෙමු. දැන් දැන් අප පසුකරන්නේ තරමක් වියලී දෙශගුන කලාපයකි, තරමක හිරු රෂ්මියක් සමගින් ගමනේ වේගය තරමක් අඩාලවි ඇත.   


දුම්රිය මගද තරමක වෙනසකට ලක්වී ඇත, මගේහි එක් පසක් දැඩි ප්‍රපාතාකාරව පිහිටා තිබින. එම බැවූම් ඇතින් ඈතට පෙනෙන තෙක් මානය තේවතු සහ අතරින් පතර නාගයන් වන් පාරවල් වලින් ද පිරි පැවතින.


ඉදල්ගස් හින්න පසුකර සැතපුම් 5ක් පමණ ආවිට මිදුමින් වැසිගත් හපුතලේ නගරය දර්ශණය වේ.


 ඒ අතරම කොළඹ දෙසට ගමන්ගත් දුම් රියක්ද අප පසුකර ගමන්ගත්තේය.




 හාත්පස මිදුම ගලන සැන්දෑ වරුවේ අපගේ අරමුන සපත කරගැන්මට අපි සමත්විමු ඒ සවස 3.00 පමණ වනවිට හපුතලේ දුම්රිය පළ වෙත පැමිනිමට අපට හැකිවීමෙනි. 



ඒ වන විට සැතපුම් 16 ක් බිම් ගෙවල් 19 ක් පසුකර අප පැමිණ සිටියෙමු.

කිවයුතුම කාරණාවක් ඇත පැනිදොඩම් බ්ලොගය ලියන අපේ සහෘද නුවන් සහ ලක්දසුන් බ්ලොගය පවත්වාගන යන සියලූම සහෘදයන්ට අපගේ ස්තූතිය පුදකරන්නේමු මන්ද ගමන සාර්ථක කරගැන්මට ඔවුන්ගෙන් ලද තොරතුරු අතිමහත්ය.